27 C
Colombo
25/11/2024

වේරහැර රථගාල මැරයන්ට

Share with your friends :

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි භාගයකින් යුත් රථගාල දේශපාලඥයන්ගේ සහ ආරක්ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පාතාල සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් යොදා ගනිමින් රථගාල පවත්වාගෙන යන බවත් මොවුන් කිසිදු බාධාවකින් තොරව වසර ගණනාවක සිට මෙය පවත්වාගෙන ගියද එහි ආදායමෙන් කිසිදු මුදලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොදෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

අදාල මැර කණ්ඩායම යතුරුපැදියක් ගාල්කිරීමට රුපියල් 120 ක්, ත්‍රීරෝද රථයක් ගාල්කිරීමට රුපියල් 200 ක් සහ මෝටර් රථක් ගාල්කිරීමට රුපියල් 300 ක් ලෙස ගාස්තු අයකරමින් දෛනිකව රුපියල් ලක්ෂ ගණනක ආදායමක් උපයන බවත් මෙම ජාවාරම පවත්වාගෙන යාමට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන දේශපාලකයන් කිහිදෙනකුගේ සහ ප්‍රදේශයේ ආරක්ෂක අංශවල අනුග්‍රහය නොඅඩුව ලැබෙන බවත් එම නිලධාරියා කීය.

එම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් රථගාලේ අයිතිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ කළ ද අදාල පාතාල කණ්ඩායමේ බලපෑම් හේතුවෙන් එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඇති බව කී එම උසස් නිලධාරියා මෙම රථ ගාල පවත්වාගෙන යන ඉඩම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පවරා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවද සඳහන් කළේය.

එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ අදාළ රථගාල හැකි ෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

Share with your friends :