රටට ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇති අතර ” දිසා ලේකම්වරුන් ඇවිත් අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා යැයි කියන්නට එපා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් එම පණිවිඩය තම මට්ටමේ අයට ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආහාර සම්පාදනය කිරීමේ ජාතික සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා සියලු දෙනා එකට වැඩ කළ යුතුයැයි ද ජනාධිපතිවරයා කීය.
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබලගැන්වීමෙි සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
ආහාර ප්‍රශ්නයට ලබන වසරේදීත් මුහුණ දෙන්නට සිදු වනු ඇති බව කී ජනාධිපතිවරයා එම තත්ත්වය තවත් උග්‍ර වී තිබෙන්නේ ලෝක ආහාර අර්බුදය නිසා බවද සඳහන් කළේය.
ලෝක ආහාර අර්බුදය මේ දෙසැම්බර් මාසයේදීත් අවසන් වන්නේ නැතැයි ද සමහර විට එය අවුරුදු දෙකක් පවතින්නට පුළුවන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මහ කන්නයේ පොහොර ලබා ගැනීම සඳහා දැනට ඩොලර් මිලියන දෙසීයක් පමණ සොයා ගෙන තිබෙන අතර තවත් ඩොලර් මිලියන විස්සක් පමණ සොයා ගන්නට තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.