27 C
Colombo
19/01/2025

ශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනයට තහනමක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ඉවතට

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (02) ප්‍රතික්‍ෂේප කළාය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරිය අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්‍ෂෙප කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නිලධාරීන් නම් කොට ඇත.

පෙත්සම්කාර මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට අදාළව පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන කීපයක් එක් කිරීමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී සූදානමක් ඇතැයි දැනුම් දුන්නේය.

එමෙන්ම වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයේ කටයුතු කිරීම ”සුජාත කිරීම” සඳහා තවත් සංශෝධන කීපයක් එහි එක් කිරීමට නියමිත යැයි දැනුම් දුන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා සිදු කිරීමට නියමිත එම සංශෝධන පක්ෂයේ ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි යැයි ද පෙන්වා දුන්නේය.

එහෙයින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධන කීපයක් එක් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ඒ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීමට තරයේ විරෝධය පළකර සිටියේය.

පක්‍ෂයක කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙවැනි ඉල්ලීමක් සලකා බැලීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා මුල් අවස්ථාවේදීම මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරිය මෙම පෙත්සම ලබන 05 වනදා යළි කැඳවීමට නියම කළාය.

Share with your friends :