කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී දැඩි විරෝධය පළ කර ඇත.
එම කමිටු පිහිටුවීමටත් කලින් ඒවායේ සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂය එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් යෝජනා කර ඇතැයිද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එසේ කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද ඔහු මෙහිදී පෙන්වාදී ඇත.
මුලින්ම එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව එහි සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු වන බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිවම දැක්වෙන්නේ යැයි ප්‍රකාශ කර ඇති කාරියවසම් මහතා එක් එක් අයට ඕන විදියට සභාපති තනතුරුවලට මන්ත්‍රීවරුන් පත් කළ නොහැකි බවද සඳහන් කර ඇත.
මේ අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කර ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට ලබාදීමට කතානායක වරයා මෙයට පෙර පැවැති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකදී එකඟ වූ බවයි.
එම රැස්වීමේ සටහන් ඇති හෙයින් එදින ගත් තීරණය අනුව කටයුතු කරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවල මෙයට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් එලෙස කටයුතු කළහ.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කිරීමත් සමඟ කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය.