27 C
Colombo
26/11/2024

සිදුවන්නට ගිය ගුවන් අනතුර නියමුවා වළක්වා ගනී

Share with your friends :

ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු ගුවනේදී ගැටී සිදුවන්නට ගිය විශාල අනතුරක් මගහරවා ගැනීමට ශ්‍රී ලංකන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමත් වූ බව විදේශ් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි ගුවන් සීමාවේදී මෙම අනතුර සිදුවන්නට ගොස් ඇතැයි පැවැසෙයි.

මගීන් 275 සහ කාර්ය මණ්ඩලය සමග හිතෘ ගුවන් තොටුපොළෙන් කොළඹ බලා ගමන් ඇරඹී යූඑල් 504 ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල් වී ඇති අතර ඒ අවස්ථාවේ අඩි 33,000 ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන් යානය අඩි 35,000 දක්වා ඉහළට ගන්නා ලෙස අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය දැනුම් දී ඇත.යූඑල් 504 ගුවන් යානයේ ගුවන් නියමුවන් අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය පැවසූ පරිදි අඩි 35,000 ඉහළට ගුවන් යානය ගෙන පියාසර කළා නම් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු ගුවනේදී ගැටී විශාල අනතුරක් සිදු වන්නට තිබුණා යැයි සිද්ධිය පිළිබඳ අවබෝධයක් ඇති ආරංචි මාර්ග පැවසුවේය.

විමසිල්ලෙන් සිටි යූඑල් 504 ගුවන් යානයේ ගුවන් නියමුවන් සැතපුම් 15 ක් පමණ ඉදිරියෙන් අඩි 35,000 ක සීමාවේ පියාසර කරමින් තිබූ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානය තම රේඩාර් පද්ධතියේ හඳුනාගෙන අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරියට තම ගුවන් යානයට ඉදිරියෙන් අඩි 35,000 ක සීමාවේ තවත් ගුවන් යානයක් පියාසර කරන බව දන්වා ඇත.

හිතෘ ගුවන් තොටුපොළෙන් පිටවී ඇති බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් එම ගුවන් යානය ඩුබායි සහ සිංගප්පූරුව වෙත පියාසර කරමින් සිට ඇති බව ආරංචි මාර්ග පවසයි. අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය අඩි 35,000 ක සිමාවේ තවත් ගුවන් යානයක් පියාසර කරන බව තම රේඩාර් පද්ධතියේ පෙන්නුම් නොකරන බැවින් යූඑල් 504 ගුවන් යානය අඩි 35,000 සීමාවට ගත හැකි බව නැවත දැනුම් දී ඇත. ගුවන් යානයේ රේඩාර් පද්ධතියේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානය හඳුනාගත් යූඑල් 504 ගුවන් යානයේ ගුවන් නියමුවන් යානය ඉහළට ගැනීම ප්‍රතික්ෂේප කර නැවත පරික්ෂා කරන ලෙස අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරියට දැනුම්දී ඇත.

මිනිත්තු කිහිපයකට පසු නැවත යූඑල් 504 ගුවන් යානය ඇමතූ අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය යූඑල් 504 ගුවන් යානය අඩි 35,000 ඉහළට නොගන්නා ලෙස පවසා ඇත. යූඑල් 504 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය පැවසූ ආකාරයට අඩි 35,000 ඉහළට යූඑල් 504 ගුවන් යානය ගෙන පියාසර කළා නම් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානයක් සමග ගැටී විශාල අනතුරක් සිදුවන්නට ඉඩ තිබුණා යැයි පැවැසෙයි.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ යූඑල්-504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග ගැටීමට තිබු අවස්ථාවක් පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-504 ගුවන් යානය කිසිඳු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව අපි තහවුරු කරන්නෙමු.කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැක්වෙන ආකාරයට යූඑල්-504 තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසිසෙත් මතුවුයේ නැත.අපගේ ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්,ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමට අවස්ථාව සැලසිණි.අදාල අනතුර වළක්වා ගැනීමට සමත් වූ යූඑල්-504 හි ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකා ගුවන් සේවයේ නොමද ප්‍රශංසාව”

Share with your friends :