අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන්, ලිඛිත එකගතාවයකට පැමිණ සිටිය දී මේ ආකාරයෙන් ගුවන් යානයක් රඳවා තාබා ගැනීම එසේ මත භේදයකට හේතු වී ඇතැයි ද එම ආරංචිමර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි. එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී එරට සංචාරකයන් ලක්ෂ 04 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට සැළසුම් කර තිබූ බව ද ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය .
රුසියාවේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ද එරට සංචාරකයන් 250 ක පමණ පිරිසක් පැමිණ සිටි බව ද ඔහු සදහන් කළේය .
එමෙන්ම මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.
මේ ආකාරයට ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පැමිණීම , ඒ මගින් රටට විදේශ විනිමය ලැබීම සහ දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍යයක් වන රුසියාව සමග මතභේදාත්මක වාතාවරණයක් ඇති කර ඒ තුළින් දෙරට අතර සමීප සබදතා බිද දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව එම ප්‍රකාශකවරයා සදහන් කළේය .
මෙම ගුවන් යානය ඇතුළු තවත් ගුවන් යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර තිබූ අතර , හදිසියේම ඇති වූ යූක්‍රේන – රුසියා යුධ ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී තිබේ .
මෙයට විසදුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය , රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත මෙම ගුවන් යානා සියල්ල ප්රතිරක්ෂණය කර තිබේ .
ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වානිජ මහාධිකරණය වෙත පැමිණිළි කර තිබේ .
මෙයට සම්බන්ධ නීතීඥයන් කීප දෙනකු ඊයේ දින දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම වාරණ නියෝගය බාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
මෙසේ රදවා ගැනීමට ලක් වී ඇති ඒ.- 330 එයා බස් වර්ගයේ ගුවන් යානය මේ වනවිට හත් වතාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.