දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට, විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති මන්දිරයේදී අද පැවති පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.
එහිදී ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව මෙම සාකච්ඡාවට එක්වූ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය සහ විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව අදාළ සාකච්ඡාව වෙත එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා පවතින රැකියා පුරප්පාඩු ඉලක්ක කරමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බවය.
ජපන් භාෂා දැනුම අනිවාර්යය වන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තිය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගනිමින් ජපන් භාෂා දැනුම ලබාදීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථාව උදාකරගත හැකි බවත් හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතින බවත් මෙහිදී අනාවරණය වී ඇත.