එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.
හයවැනිවරටත් අග්‍රාමාත්‍යධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්වන්නේ මෙරට වැඩිම වාර ගණනක් අගමැතිධුරයට පත්වූ මහජන නියෝජිතයා ලෙසය.
1977 වසරේ පළමුවෙන්ම පාර්ලිමේන්තු වරම් ලද රනිල් වික්‍රමසිංහ මහතා විදේශ නියෝජ්‍ය අමාත්‍යධුරය, අධ්‍යාපන හා කර්මාන්ත කැබිනට් අමාත්‍යධුර හොබවනු ලැබූ අතර 1993 වසරේදී පළමුවරට අග්‍රාමාත්‍යධුරයට පත්විය.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන කොමිසම පිහිටුවීමට පෙරමුණ ගත් රනිල් වික්‍රමසිංහ මහතා කාර්මික සංවර්ධන පනත ගෙන එමින් කර්මාන්තශාලාවලට පස් අවුරුදු බදු සහනදීම, කාර්මික කොමිසම පත්කිරීම ආදී පියවර රැසක්ගනු ලැබීය.
එමෙන්ම අධ්යාාපන විද්‍යාපීඨ ඇරඹූ ඒ මහතා ඉංග්‍රීසි ගුරුවරුන්ට විශේෂ ගුරු පුහුණුවක් ලබාදීමටද මුල් පියවර තැබීය.
එහෙත් 1994 ජනාධිපතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායක ධුරයට පත්වුණි.
අනතුරුව ඒ මහතා 1999 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජය ගැනීමට අපොහොසත් වුවද 2001 මහ මැතිවරණයෙන් ජයගෙන අග්‍රාමාත්‍යධුරයට යළි තේරී පත්විය.
ඒ ත්‍රස්තවාදී යුද්ධය මැද මෙරට ආර්ථිකය අඩපණ වී තිබූ පසුබිමකය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුමකටද එලැඹි අතර සාම ක්‍රියාදාමයකට ද ප්‍රවේශ වුණි.
2001 වන විට සෘණ අගයක් ගෙන තිබූ මෙරට ආර්ථිකය වර්ධන වේගය ඒ හරහා 2003 වසර වන විට 5% ඉක්මවා ඉහළට ගෙන ඒමට ඔහුට හැකිවිය.
කෙසේවෙතත් 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ලැබීම නිසා ඔහු යලි විපක්ෂ නායක ධුරයට පත්විය.
2005 ජනාධිපතිවරණයෙන් නැවත පරාජය ලැබුවත් රනිල් වික්‍රමසිංහ මහතා 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නැවතත් අගමැති ධුරයට වූ අතර එම වසරේ පැවති මහ මැතිවරණයෙන් වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් දිනාගනිමින් සිව්වැනි වතාවටත් අගමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
2018 වසරේ අභියෝගාත්මත තත්ත්වයක් හමුවේ දින 52 ක කාලයකට අගමැති ධුරය අහිමිවුණත් නැවතත් ව්‍යවස්ථානුකූලව ඔහුට එම ධුරයේ දිවුරුම්දීමට අවස්ථාව උදාවුණි.
කෙසේ වෙතත් 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය ලැබූ අතර පසුව එම පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ව තෝරාගත්තේය.
කොවිඩ් වසංගතය හමුවේ උද්ගත වූ තත්ත්වයේදී විපක්ෂයේ සිටිමින් වුවද රනිල් වික්‍රමසිංහ මහතා රජයට සිය අදහස් යෝජනා ඉදිරිපත් කළ අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ද ඉන් මිදීම සඳහා වන යෝජනා ලබා දීම සිදුකළේය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රටේ ඇති වූ අරාජික තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) අගමැති ධුරය බාරගෙන රට ස්ථාවර තත්ත්වයකට එසැවීම සඳහා සහාය දීමට කැමැත්ත පළකළ බව වාර්තා විය