27 C
Colombo
22/01/2025

‘‘සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකියි‘‘

Share with your friends :

රටේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් තමන් ගෙන යන සටන මැර ප්‍රහාරවලින් වැළැක්විය නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (9) විශේෂ ප්‍රකාෂයක් සිදුකරමින් පැවසීය.

අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිමට ගිය තමන්ට මැර ප්‍රහාරයක් එල්ල වුවත් රටේ ලක්ෂ දෙසීය විස්සක් ජනතාව වෙනුවෙන් එම සටන අඛණ්ඩව මෙහෙයවන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

ගාලුමුවදොරපිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය විමසා බැලීමට එහි ගිය විපක්ෂනායකවරයාටද ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අද (9) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

“ම්ලේච්ඡ රාජපක්ෂ ආන්ඩුව මේ රටේ සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි තරුණ පරපුරට තමන්ගේ මැරයින් යොදාගෙන දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කලා. මේ රාජපක්ස ප්‍රචණ්ඩත්වයට, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව තරුණ තරුණයින් වෙනුවෙන් මමත් එම ස්ථානයට යාමට කටයුතු කළා. මම පාරේ ඇවිදමින් එම ස්ථානයට යද්දි මැරකණ්ඩායම් මටත් ප්‍රහාර එල්ල කලා. ප්‍රේමදාසලා කවදාවත් මැරයින්ට ත්‍රස්තවාදීන්ට බය වෙන්නේ නැහැ.

මම ගාලුමුවදොරට ගියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස වෙනුවෙන්. අරගලයේ නිරතව සිටි අයට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව එය හෙලා දකිමින් එම අරගල කරුවන් සමග එකට හිට ගැනීමට මම එහි ගියා. රාජ්‍ය ත්‍රස්තවාදීන් මට පහරදීලා මගේ නිල රථයට හානි කලා. අපි බොහොම අමාරුවෙන් බේරිලා ආවා. මගේ ඇදුම්වල වීදුරු කටුතැවරිලා තිබුනා. නමුත් මට කිසිම තුවාලයක් නැතිව බේරිලා අවා.

අද මම මහපාරට බැස්සේ මැයි පළවෙනිදා මගේ පියා පාරට බැස්සා වගෙයි. මම අද දවසේ මේ දේ කලා වගේම රටේ ලක්ෂ දෙසීය විස්සකගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද දවසේත් හෙට දවසේත් අපි පාරට බහින්න මැලි වෙන්නේ නැහැ.

Share with your friends :