27 C
Colombo
19/01/2025

සහල් ගැසට්ටුව ගැන චෝදනා රැසක්

Share with your friends :

සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසීයකට වෙළදපොලේ අලෙවි කරද්දී සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසිය විස්සකට අලෙවි කිරීම සදහා වූ ගැසට් පත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කිරීම වී මෝල් හිමියන් ගේ යහපත වෙනුවෙන් සිදුකර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ
“මෙම රජයේ සහල් සදහා වූ 11 වන ගැසට්පත්‍රය වන එම ගැසට්පත්‍රය මගින් සහල් සදහා නියම කර ඇත්තේ වෙළදපලේ පවතින මිලට වඩා වැඩි මිල ගණනකි.

තවද එම ගැසට් පත්‍රය මගින් පාලන මිලක් නියම කරන්නේ දේශීය සහල් සදහා පමණක් වන අතර මේවන විට වෙළදපොල තුළ ආනයනික සහල් විශාල වශයෙන් අලෙවි වේ. දේශීය සහල් සහ ආනයනික සහල් හදුනා ගැනීම ඉතාම දුෂ්කර වන අතර එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට දෙයියන්ගේ පිහිට පැතීමට සිදුවන බව අපගේ විශ්වාසයි.තවද පාරිභෝගිකයින් වැඩි වශයෙන් මිලදී ගනු ලබන කැකුලු සහල් සදහා පාලන මිලක් පනවා නැත.

සහල් මොල් හිමියන් සැනසීම සදහා ගැසට්පත්‍ර නිකුත් කිරීම නවතා දමා මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා ගැසට්පත්‍ර නිකුත් කරන ලෙස හා වෙළදපොලේ සහල් අලෙවි වන්නේ කුමන මිලකටද යන්න ගැසට්පත්‍ර නිකුත් කිරීමට පෙර සොයා බලන ලෙස අප පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටිමු.” යනුවෙනි.

මේ අතර දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.

සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත. මෙම මිල අද සිට ක්‍රියාත්මක වෙයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ සහල් උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 50 ක දඩයක් සහ මාස 6ක සිරදඬුවමක් පැනවීමේ හැකියාව ඇතැයි එම අධිකාරිය පවසයි.

සහල් උපරිම මිලට වඩා වැඩි මිලට විකිණීමේ පළමු වරද සඳහා තනි පුද්ගල සමාගමකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ද, පුද්ගලික සමාගමකට ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා ද දඩ මුදල් නියම කළ හැකි බවත් දඩ මුදල සහ මාස 6 ක සිර දඬුවමක් ද නියම කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

Share with your friends :