27 C
Colombo
18/01/2025

හරීන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැටුම ඉදිරියටම

Share with your friends :

සමගි ජන බලවේග මැයිදින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර බහින් බස් වීමක් සිදුව ඇත.

සමගි ජන බලවේගයේ මැයි රැළියේදී මුල් පෙළ අසුන් ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා අසලට කැඳවා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා බහින් බස් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මැදිහත් වී දෙදෙනා අතර බහින්බස් වීම සමථයකට පත් කර හරීන් ප්‍රනාන්දු මහතා එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගියේය.

හරින්ගේ හැසිරීම අශෝභනයි

සමගි ජනබලවේගයේ මැදි දින රැළියේදී කථික ලැයිස්තුව සකස් කිරීමේදී යම් යම් අඩුපාඩු තිබූ බැවින් ඒ පිළිබඳ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අශෝභන ලෙස හැසුරුණු බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ෆොන්සේකා මහතා ප්‍රකාශක කළේය.

මැයි දින පෙළපාළියේ සංවිධාන කටයුතු හරීන් ප්‍රනාන්දු මහතාට බාරදී තිබූ බවත් එහිදි ඔහු තම හිතවත් කණ්ඩායමක ප්‍රතිරූපය ඉහළ නංවන අයුරින් කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.

මේවා දිගින් දිගටම ගෙන ගියොත් පක්ෂයේ සමගියට බාධාවක් විය හැකි බැවින්, පක්ෂයේ දෙවනියා ලෙස ඒ ගැන මැදිහත්ව කටයුතු කළ බවත් ඔහු පැවැසීය.

පක්ෂයේ දෙවැනියා පක්ෂ මහා ලේකම්

සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ කථික ලැයිස්තුව සකස් කළේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, තමන්ට ඒ පිළිබඳ චෝදනා නැගීමෙන් පලක් නොමැති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මහනුවර සිට පැවැති දින හයක පා ගමන සහ මැයි දින රැලිය තම ශ්‍රමය, ධනය වැය කර සිදු කර තිබියදී තමන්ට එරෙහිව පරීක්ෂණ තැබීමට යෝජනා කරන සරත් ෆොන්සේකා මහතාගේ මනස පරීක්ෂා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ දෙවැනියා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, ඒ බව නොදැන තමන් පක්ෂයේ දෙවැනියා යැයි සිතා ගනිමින් සරත් ෆොන්සේකා කටයුතු කිරීම පිළිබඳ කනගාටු වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද සරත් ෆොන්සේකා මහතාට පක්ෂ සාමාජිකයන්ගේ දැඩි විරෝධය හිමි වූ බවත් ඔහු පැවැසීය.

එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තමාගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටි බවත්, ෆොන්සේකා මහතා සිදු කළ දේ අනුමත නොකළ බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැමිණ නොසිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Share with your friends :