27 C
Colombo
18/01/2025

ඉන්ධන,ගෑස්,ඖෂධ ගන්න ඩොලර් නැති රටේ ගුවන් යානා මිලදී ගන්න හදිස්සියක්

Share with your friends :

රට ආර්ථික වශයෙන් බරපතල අගාධයකට වැටී තිබියදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමට එහි පාලනාධිකාරය හා ඇතැම් සේවක පිරිස් ගන්නා උත්සාහය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.
ඔවුන් පවසන අන්දමට ආණ්ඩුවට ඩොලර් නැතත් ශ්‍රීලන්කන් ගුවන් සේවයට ඩොලර් තිබේ.

එම ගුවන්යානා වෙනුවෙන් දරන වියදම මෙරට භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින් ගුවන් සමාගම මගින් දරන බව ඔවුහු කියා සිටිති. එසේ නම් ආණ්ඩුව දැන් කල යුත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවය රාජ්‍ය ආයතනයක් බැවින් එම ඩොලර් ලබා ගෙන ජනතාවට ඉන්ධන ,ගෑස් හා ඖෂධ සැපයීමය. පසුගිය කාලය පුරා වසර ගණනාවක් තිස්සේ ශ්‍රීලන්කන් ගුවන් සේවකයන්ට වැටුප් හා අනෙකුත් වියදම් දුන්නේ මහා භාණ්ඩාගාරය විසිනි. එම නිසා එම මුදල් වහාම නැවත ඉල්ලා ගත යුතුව තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2022 -2025 කාලය සඳහා ගුවන්යානා 21 කල්බදු ක්‍රමය යටතේ ලබාගැනීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදු කෙරුණු විවේචනයෙන් පසුව ගුවන්යානා 21 ලබාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල්දමන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබුණි.

එසේ තිබියදී කෙසේ හෝ ගුවන් යානා 21 ක් අලුතින් ලබා ගැනීම මොවුන්ගේ උත්සාහය වී තිබේ.
රට ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයකද ගිලී පවතී. එවැනි අවස්ථාවක මෙවැනි සුවිසල් ගනුදෙනු සිදුවන්නේ නිකමට නොවේ. ගුවන් සමාගමේ වත්මන් පාලනාධිකාරිය පවා මෙවන් තත්වයක් තුල ස්ථිර නැත. එම නිසා රටේ ජනතාව පවසන්නේ මෙවැනි ගනුදෙනු තාවකාලිකව අත්හිටුවා රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් රටේ මුදල් යෙදවිය යුතු බවය.

Share with your friends :