27 C
Colombo
19/01/2025

ඩොලර් හුවමාරු පාලනයට මහ බැංකු අධිපතිගෙන් තීරණ රැසක්

Share with your friends :

බැංකු පද්ධතියට පිටතින් සිදුවන විදෙස් මුදල් හුවමාරු පාලනය සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීය.

“අපේ රටේ බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය හිඟයක් තිබෙනවා. එළියේ පෝලිම් තියෙන්නේ ඒ නිසා. කෙනෙක්ට බැංකුවකට ගියාම විදේශ විනිමය ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලුවාම බැංක්‍ර ක්‍රමයට පිටතින් විශාල වශයෙන් උණ්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය ගලාගෙන එනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ආනයන රැසකට මේ ක්‍රමවේද මඟින් මුදල් යනවා.

ඒ මුදල් බැංකු ක්‍රමය තුළට ගෙන ඒම සඳහා අපි සාකච්ඡා කරලා තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. මුදල් අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරලා පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.

පළමුවැනි පියවර විදියට මුදල් අමාත්‍යාංශය අද හෝ හෙට ගැසට් නිවේදනයක් නිකුත් කරයි. එම ගැසට් නිවේදනයට අනුව විවෘත ගිණුම් තුළින් ආනයනය කිරීම නතර කරනවා. ඒ වගේම සියලු ආනයන කළ යුත්තේ බැංකු ක්‍රමය තුළින් පමණයි. සියලු ආනයනවලට මුදල් ගෙවිය යුත්තේ බැංකු ක්‍රමය තුළින් පමණයි.

මෙමඟින් පිටත තිබෙන ඉල්ලුම නැති වෙනවා.

ඒ වගේම පිටත වෙළෙඳපොළට මුදල් සපයනවා නම්, අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් බැංකු ක්‍රමය තුළින් ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම මේ පියවර නිසා බැංකු පද්ධතියෙන් එළියේ වෙළෙඳපොළක් නැති බවත් කියන්න අවශ්‍ය යි.

අනෙක අපි බැංකු ක්‍රමය තුළින් ඉහළ විදේශ විනිමය ගෙවනවා. විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී යි. වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් විදේශ විනිමය අනුපාතිකයක් තිබෙනවා. අපි ඩොලරයට සාධාරණ මුදලක් ගෙවනවා.

මේ විදියට බැංකු පද්ධතිය තුළින් මුදල් ආවොත් අපට ඒ මුදල් කිරිපිටි, ඉන්ධන, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය දේවල් ගෙන්වන්න භාවිත කරන්න පුළුවන්.

ඒ වගේම විදේශවල ඉගෙන ළමයින්ට මුදල් යවන්න බැරි කම නිසත් කළු වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. බැංකුවලින් ඩොලර් දෙන්නේ නැතිනං දෙමාපියන්ට කරන්න දෙයක් නැහැ. මේ නිසා අධ්‍යාපනික, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය මානුෂීය කාරණා සඳහා ඩොලර් නිකුත් කරන්න කියලා අපි බැංකුවලට උපදෙස් දීලා තියෙනවා. මේ දේවල්වලට හැම තිස්සෙම බැංකු පද්ධතිය තුළින් දෙන්න කියලා අපි බැංකුවලින් ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදි අවශ්‍ය වුවහොත් ඒ මදිපාඩු පිරවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙනවා.

බැංකු පද්ධතියට ඩොලර් ගලා ඒම වැඩි කිරීම සඳහා අපි මේ වනවිට පියවර ගනිමින් ඉන්නවා. ඒ වගේම බැංකු පද්ධතියට පිටතින් ක්‍රියාත්මක වන හවාලා සහ උණ්ඩියල් යන ක්‍රමවේද නැවැත්වීමටත් අපි පියවර ගන්නවා. අපි උණ්ඩියල් සහ හවාලා ක්‍රමවේද අධෛර්යමත් කිරීම සඳහා පියවර ගන්නවා.

බැංකු පද්ධතිය තුළ ගනුදෙනු කරවීම/කිරීම සඳහා අපි උපරිම පියවර ගන්නවා.

රට තුළට ඩොලර් ගලා ඒම ස්ථාවර වුණු විගස ඩොලර් ගනුදෙනුවලට අදාළව මේ වනවිට පනවා තිබෙන සීමා ලිහිල් කරනවා.

ඩොලර් අනිවාර්යෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමේ පියවර ද අපි ඉදිරියේදී ඉවත් කිරීමට පියවර ගන්නවා.

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ගේ පවුල්වලට මුදල්, විදේශ විනිමය එවනවා නම් බැංකු ක්‍රමය හරහාම එවන්න කියලා තමයි අපි කියන්නේ. අපි මහ බැංකුව ලෙස ඉල්ලා එය ඉල්ලා සිටිනවා. ඒ මුදල් භාවිත කෙරෙන්නේ රටේ මහජනතාවගේ අත්‍යවශ්‍ය දේවල්වලට.

ඒ වගේම ඩොලර්වලින් ගෙවන්න නියම කිරීම හොඳ තීරණයක් නෙමෙයි. විශේෂයෙන්ම සංචාරකයන්ට එසේ කීම සුදුසු නැහැ. එය සංචාරක කර්මාන්තයට සුදුසු නැහැ. අපි ඒ ගැන බලලා එය ලිහිල් කරනවා.

ඒ වගේම ඩොලර්වලින් ගෙවීම අදාළ වෙන්නේ අපනයනකරුවන්ට එහි තවත් ක්‍රියාවලියකට පමණයි. ඒ වගේම සැපයුම් සඳහා අමුද්‍රව්‍ය ගෙන්වනවා නම් ඊට අදාළ ක්‍රියාවලියක් තිබෙනවා. ඒ නීතිමය අවසරය තිබෙන අයට පමණක් ඩොලර්වලින් ගෙවන්න සහ ලබන්න පුළුවන්.

Share with your friends :