27 C
Colombo
20/01/2025

වැඩවර්ජන – විරෝධතාවලට දහස් ගණන් සෙනග

Share with your friends :

රටපුරා අද පැවති වැඩ වර්ජන හා විරෝධතා හේතුවෙන් එදිනෙදා කටයුතු බොහෝදුරට අඩපන විය.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට සමගාමීව ප්‍රධාන නගරවල පැවැති විරෝධතා හේතුවෙන් දැඩි වාහන තදබදයක්ද නිර්මාණය විය.

මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා 1000 කට අධික සංඛ්‍යාවක් පැවැති බවත් ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයන් දැකිය හැකිවිය.

රටේ විවිධ ගැටලුකාරී අවස්ථාවලදී විරෝධතාවල කේන්ද්‍රස්ථාන වන මාතර, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන නගරවලට විරෝධතාවයකට රැස්වූ විශාලතම ජනකාය අද රැස්ව සිටි බව බොහෝ දෙනා පවසති.

කටුනායක
“ජනමතයට හිස නොනමන , මිනීමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු ! ජනතා සටන දිනවමු යන්න තේමා කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් අද (28 ) කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට දී පැවැත්විනි.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර එයට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන දහස් ගණනක සේවක සේවිකාවො සහභාගී වී සිටියහ.

ඔවුන් අද දින තම කර්මාන්තශාලා තුළ සේවය නොකරමින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටියහ.මෙම පිරිස විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවට සම්බන්ධ වී සිටියහ . සවස 5 පමණ වනතුරු මෙය පැවැත්වෙයි . මොවුන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වීමට කටුනායක ඇවරිවත්ත නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා තිබේ .

මාතර
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (28) මාතර නගරයේ දී පැවැත්විණි.

ඉතිහාසයේ මේ දක්වා මාතර නගරයේ විරෝධතාවයකට සහභාගී වු වැඩිම පිරිස එය බව පොලිස් බුද්ධි අංශ පෙන්වා දෙයි.

මාතර නීතිඥ සංගමයේ සභාපතිනී ප්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු මාතර අධිකරණ සංකීර්ණයේ නීතිඥ මහත්ම මහත්මීන් උදෑසන 9.30 ට පමණ මාතර සනත් ජරසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණ විරෝධතාවය ආරම්භ කළ අතර ඊට බැංකු නිලධාරීන්ද එක්ව සිටියහ.

පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිතිවල අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා මහා ශිෂ්‍ය සංගමය වැල්ලමඩමේ සිට විරෝධතා පා ගමනකින් මාතර නගරය වෙත පැමිණියේය.

ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන්,ගුරු,විදුහල්පති,ජල,විදුලි,සෞඛ්‍ය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් තවත් විරෝධතා ව්‍යාපාරයක් මාතර නූපේ මංසන්ධියේ සිට ගාලු පාර ඔස්සේ මාතර නගරයට ළඟා විය.

මේ නිසා මාතර නගරය එකම හිස් ගොඩක් බවට පත්ව තිබු අතර මාතර- කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණි.

ගාලු පාරේ එක් මංතීරුවක් විරෝධතාකරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම අවහිල වී තිබු නිසා පොලීසිය එක් මංතීරුවකින් වාහන ගමනාගමනය සිදු කිරීමට පියවර ගත්තේය.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ද පාසල් වලට නොපැමිණීම නිසා පාසල් පාලුවට ගොස් තිබුණේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු විය.එහෙත් මගීන් නොමැති වීම නිසා බස් ගමන් වාර ගණනාවක් අවලංගු කෙරිණි. සාමාන්‍ය සේවා පුද්ගලික බස් රථ ධාවනයේ විශාල අඩුවක් දැක ගත හැකි විය.ලංගම බස් රථ වැඩි පුර ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.

Share with your friends :