බලය වෙනුවෙන් අද වනවිට සංගීත පුටු තරගයක් ඇතිවී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පවතින අර්බුද හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය සංවිධාන කරන ‘නිදහසේ අරගලය පාගමන’ ට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.
“ජනවරම තියෙන්නේ අපිට විපක්ෂයේ කාර්යභාරය කරන්න. මේක දේශපාලන සංගීත පුටු තරගයක් නෙමෙයි. ඔයා මගේ ඇඳුම ඇඳගන්න..මං ඔයාගේ ඇඳුම අඳින්නම් කියන්න. මෙයා අගමැති වෙන්න..අරයා ජනාධිපති වෙන්න. මොකක්ද මේ වෙන්නේ.”
“අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවලා ඊළඟ රංගනයේ කොටස් කරුවන් වෙනවට වැඩිය මට සැපයි දේශපාලනයෙන් විශ්‍රාම යන එක. මම මේ වචනය මොනම හේතුවකටවත් වෙනස් වුණේ නෑ.”
අද (26) මහනුවරින් ආරම්භ වුණු එම පාගමන මැයි පළමු වනදා කොළඹට ළඟාවීමට නියමිතය.
අක්‍රමවත් පාලනය නිසා රට අරාජික වී ඇතැයි චෝදනා කරමින් ආණ්ඩුවට විරෝධය පෑම සඳහා සමගි ජන බලවේගය නිදහසේ අරගලය නමින් මෙම පාගමන සංවිධාන කර තිබේ.
එය ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස අද උදෑසන ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගැනීමට කටයුතු කර තිබුණි.
පසුව විපක්ෂ නායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනායක හිමියන් බැහැ දැක සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිගැන්විය.
අනතුරුව මහනුවර මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අසලින් නිදහසේ අරගලය පා ගමන ආරම්භ කෙරුණි.
හෙට දින එය මාවනැල්ලේ සිට ගලිගමුව දක්වා පැමිණෙන අතර 28 වනදා ගලිගමුවේ සිට දංඕවිට දක්වා ද 29 වනදා ද දංඔවිට සිට යක්කල දක්වා ද 30 වනදා යක්කල සිට පෑලියගොඩ දක්වා ද පාගමන පැමිණීමට නියමිතය.
මහනුවර සිට මාවනැල්ල දක්වා අද පාගමන පැමිණීමට නියමිතව තිබුණ ද පැවති අධික වර්ෂාව මැද එය කඩුගන්නාවෙන් අවසන් වුණි.
පාගමන මැයි 01 වනදා කොළඔට පැමිණ “නිදහසේ අරගලය මැයෙන් “සියවසේ මැයි රැලිය” පැවැත්වීමට නියමිතය.