ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා යැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අද (1) පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වෙනි සැසිවාරයේ දෙවැනි දවස වූ ඊයේ 1 වෙනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.50 මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ අංගය ඇමතුවේය.
සමුළුව අමතමින් ජී.එල්.පීරිස් මහතා මෙසේ ද පැවැසීය.
මූලික අයිතිවාසිකම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම අන්තර්ගත වෙලා තියෙනවා. මූලික අයිතිවාසිකම් අපගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන හරහා ක්‍රමානුකූලව දිව යන අතර එසේ දිවයන මූලික අයිතිවාසිකම් බලාත්මක කිරීමට අපිට ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. ත්‍රස්තවාදය,කොරෝනා වසංගතය වැනි අභියෝග රැසකට මුහුණ දී තිබියදීත් අපි සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය මුළු රටේම කලින් තිබූ තත්ත්වයට නැවත පත්කරලා තියෙනවා.
අපගේ දේශීය රාමුවට සහ ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලව ආගම, ජනවර්ගය, දේශපාලන පසුබිම නොතකමින් අපගේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීම දිගටම සිදු කරන අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රවර්ධනයද අපි දිගටම සිදු කරනවා .කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථික පසුබෑම තිබියදීත්, අපි අපේ ජනතාවගේ සංවර්ධනය වීමේ අයිතිය තහවුරු කරන්න අපි ක්‍රියාකරලා තියෙනවා.නවතම තිරසාර සංවර්ධන ඉලක්ක අනුව ශ්‍රී ලංකාව සිය ගෝලීය ශ්‍රේණිගත කිරීම වල ස්ථාන හතක් ඉදිරියට ඇවිත් තියෙනවා.
2021 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ කැමැත්තකින් තොරව සභාගත කරන ලද 46/1 යෝජනාවට කවුන්සිලය ඡන්දය දුන්නා. මෙම යෝජනාවේ 6 වන ක්‍රියාකාරී ඡේදය ඊනියා සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ගැන සඳහන් කරන අතර එය රටවල් ගනනාවක් විසින් දැඩි ලෙස විරුද්ධ වූ පියවරක්. මෙවැනි යාන්ත්රණයකට මුල පිරීම නිසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අසමගිය ඇති වෙන්න ඉඩ තියෙනවා.එය සුව වූ තුවාල නැවත පාරවමින් ජාතින් අතර වෛර ගොඩ නැගීමට හේතුවක් වෙනවා.එය සංහිඳියා ඇති කිරීමට දරණ උත්සාහයන්ට බාධා ඇති කරන අතර,මම කියන්න කැමති 46/1 යෝජනාවේ 6 වන ක්‍රියාකාරී ඡේදයේ සඳහන් වන සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයෙන් ශ්‍රී ලාංකිකයන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට කිසිම උදව්වක් සිදුවෙන්නේ නැහැ.
ඒ වගේම මම කියන්න කැමති අවුරුදු 43 පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීමට අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා ඒක ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත් හොඳ පියවරක් ලෙස පෙන්වා දෙන්න කැමති” මානව හිමිකම් කවුන්සිලයේ ඉහල අංගය අමතමින් විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවාදය මාර්තු 3 වෙනි නොපැවැත් වෙන අතර එය එළඹෙන මාර්තු 4 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇත.