ඉන්ධන හිගය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරති.
මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 400ක් පමණ ගමන් වාර අවලංගු කිරීමට සිදුවූ බවද අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්රකාශ කළේය.
දිනෙන් දින මෙම අර්බුදය උග්ර වන බවත් ඒ සඳහා විසදුමක් ලබාදීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇතැයිද ඔහු පැවසීය.
ඇතැම් ඉන්ධන හල් මගින් බස් රථ සඳහා සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමෙන් දැඩි අපහසු තාවයට පත්වූ බවත් බස් හිමියෝ සඳහන් කළහ.
ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලටත් දැඩි බලපෑම් එල්ල වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔටෝ ඩීසල් නොමැති වීම හේතුවෙන් ඇතැම් බස් රථ සඳහා සුපර් ඩීසල් ගැසීමට පියවර ගත් බවද ඔහු ප්රකාශ කළේය.