27 C
Colombo
28/11/2024

සතොස සභාපතිගේ සේවය අත්හිටුවයි

Share with your friends :

මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපතිවරයා ඇතුලු නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සතොස ආයතනයේ සිදු වූ බව කියන හඬ පටයකින් හෙළිවූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුලු අයථා ගනුදෙනු ගැන සතොස සභාපතිරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්දැයි කළ විමසීමකදීය ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙම හඬ පටයෙන් කියවෙන කාරණා පමණක් නොව 2019 සිට 2021 දක් වූ වසර තුන තුළදීම සිදුවු මූල්‍ය අක්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද, ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසද ලේකම්වරියට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජය ආයතන ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් කියවෙන හඬ පටයක් පසුගිය දිනවල එම ආයතනයේ ප්‍රධානීන් අතට පත්ව ඇත.

එම හඬ පටයට අනුව රුපියල් කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුවට මෙම නිලධාරියා සෘජුව හා වක්‍රව සම්බන්ධ ගනුදෙනුවලින් එකක් පමණකි. තවත් අක්‍රමිකතා රැසක් එම හඬපටයෙන් අනාවරණය වන බව ආයතන ආරංචි මාර්ග කියයි.

එම හඬපටයෙන් කියැවෙන පරිදි මෙම රුපියල් කෝටි තුනහමාර ලබාදී තිබෙන්නේ දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එය තමන් වෙත එය ලබාගැනීම වෙනුවෙනි. ඔහු මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව ද ආරංචි මාර්ග කියයි.

එයට අමතරව ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම, මුං ඇට මිලදි ගැනීම ඇතුලු කාරණා රැසක් වෙනුවෙන් ප්‍රශ්නගත සභාපතිවරයා සිය ගෝලයා වු එම ආයතනයේ ප්‍රවාහන අංශයේ කළමණාකාරු සමග එක්ව අයථා ගනුදෙනු රැසක් සිදුකර ඇති බවද එම හඬ පටයෙන් හෙලිවේ.

ගනු දෙනුවලට අතරමැදියා වූ ප්‍රවාහන අංශයේ කළමණාකරු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට වාර්තා කර නැත. ඔහු එසේ සේවයට වාර්තා නොකිරීම නිසා කෝටි තුනහමාරක මුදලක් ප්‍රවාහන අංශ කළමණාකරුට ලබාදුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇති වී ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයාට ඒ ගැන දැනුවත් කර තිබේ. එහිදි තම ගෝලයා බේරා ගැනීම සඳහා මෙම සභාපතිවරයා පැය දෙකකට ආසන්න කාලයක් පෙර කී ව්‍යාපාරිකයා සමග සාකච්ඡා කර ඇති බවද එම හඬපටය අනුව අනාවරණය වේ.

Share with your friends :