කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය ටයිල් නිෂ්පාදන හිඟවීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීමේ හා මිල ඉහළ යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන ටයිල් සීමිත ප්‍රමාණවලින් ආනයනය කර බෙදාහැරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට බලය පවරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.
ඊට අදාළ ව ටයිල් ආනයනයකර අලෙවි කළ ද විවෘත වෙළෙඳපොළේ පවතින හිඟය හේතුවෙන් අලෙවිකරුවන් විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් මිලදී ගන්නා ටයිල් ඉහළ මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට නැවත අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබූ බව සඳහන් වේ.
මෙම තත්ත්වයන් වැළැක්වීමට අදාලව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට පසුගියදා උපදෙස් ලබාදී තිබුණී.
අදාළ වැඩපිළිවෙලට අනුව එම සංස්ථාව මගින් ටයිල් මිලදී ගැනීම සිදුකරන්නේ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක් බවට වන ප්‍රාදේශීය බලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා පවසයි.
මේ අතර වෙළෙඳපොළේ හටගෙන ඇති සිමෙන්ති හිඟය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැලෙන්නන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
සිමෙන්ති සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සෙසු නිෂ්පාදනවල හිඟය මෙන්ම ඒවා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතාවයට පත්ව ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් “අද දෙරණ” ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු පැවසුවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව පාකිස්ථානයෙන් සිමෙන්ති ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට රජයේ එකඟතාව පළවී ඇති බවය.