27 C
Colombo
19/01/2025

20 විහිළුවක් වෙලා

Share with your friends :

විසිවැනි සංශෝධනය අද වනවිට විහිලුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අනුව රජයේ ව්‍යවස්ථාව සම්බන්ධ ලුහුඬු පිටපත හෝ පෙබරවාරි 4 නිදහස් දිනය දා රටට හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් ජයසූරිය මහතා සඳහන් කලේය.

කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“රටක ඉදිරිගමනට ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රජය පිහිටුවා අවුරුද්දකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව තවත් කල් නොහැර ඉටුකළ යුතුයි. ව්‍යවස්ථාව ජනතා සහභාගීත්වයෙන් සිදු විය යුතු අතර, පාර්ලිමේන්තුවේ සහ ජනතා මුල් වීමක් නොමැතිව ගොඩනගන ව්‍යවස්ථා ජනතාව පිළිනොගන්නා බව රජය වටහා ගත යුතුයි.

මේ රජය බලයට පැමිණ 20 සංශෝධනය ඉදිරිපත් කළ දින සිට එයින් රටට වූ හානිය හා ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වූ ආකාරය අපි රටටම පෙන්වා දුන්නා. 20 වැනි සංශෝධනයෙන් හා 3/2 පාර්ලිමේන්තු බලයෙන් රටට සෙතක් උනාද? අවසානයේ එය විහිළුවක් උනා.

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 20 වන සංශෝධනයේ ආදීනව පෙන්වා දී තිබුණා. වර්තමාන රජයේ හවුල්කරුවකු වෙතින් එවැනි අදහස් ගලා ඒම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ශක්තියක් අපි එය අගය කරනවා.

තවත් විවිධ හේතු සොයා කල් නොගෙන, පොරොන්දු වූ පරිදි රජයේ ලුහුඬු පිටපත හෝ පෙබරවාරි 4 නිදහස් දිනය දා රටට හෙළි කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ජනාධිපතිවරයා විසින් රටවැසියාට රාජ්‍යතාන්ත්‍රික පොරොන්දුවක් දී ඇති බවත්, එම දින සීමාද දැන් අවසාන බව නිහතමානීව මතක් කර දෙමු. මෙම පොරොන්දුව ජනාධිපතිවරයා විසින් අති ගෞරවනීය උත්තරීතර සංඝ සභාවටද ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Share with your friends :