27 C
Colombo
23/01/2025

දින කිහිපයකින් රට බංකොලොත්… දශක ගණනාවකට ගොඩ එන්න බෑ

Share with your friends :

රට ඉතාම වේගයෙන් බංකොලොත් වීම කරා ගමන් කරමින් තිබෙන බවත්, එසේ මූල්‍යමය බංකොලොත් භාවයට පත් වුවහොත් දශක ගණනාවක් යනතුරු රට ඉන් ගලවා ගැනීමේ හැකියාවක් නොලැබෙනු ඇති බවත්, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉන් ගැලවී රට ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි ජනවාරි මාසය තුළ තමන් විසින් පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා;

“මහ මැතිවරණයක් පවත්වන්න නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න වෙන්නේ 2023 පෙබරවාරිවල. ඊට කලින් ඉතින් පාර්ලිමේන්තුවම කැමති වෙලා විසුරුවා ගන්න ඕන. 2025 තමයි පාර්ලිමේන්තුව ස්වභාවයෙන් විසිරීමට ලක් වෙන්නේ. කෙසේ නමුත් මේ අර්බුදය අද තියෙන තත්වය මැතිවරණයකින් පහ කරගන්නවාද? මැතිවරණයකින් පුළුවන් වෙයිද ඒකට විසඳුම් දෙන්න. මොකද ජනාධිපතිවරයා සතුව සියලුම බලතල තියෙන තත්ත්වය තුළ එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් විසඳ ගන්නවද කියන එක පිළිබඳව ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. කෙසේ වුනත් මෙතැනදී විශාල වගකීමක් පාර්ලිමේන්තුවට තියෙනවා. මොකද ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය යටතේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. දැන් ඇතිවෙලා තියෙන්නෙත් මූල්‍ය අර්බුදයක්. ඒක නිසා මේ පක්ෂ ඒ වගේම ඒ නායකයින්ට තියෙන ගැතිකම් වලින් ඔබ්බට ගිහිල්ලා හිතලා බලලා කටයුතු කිරීම ආණ්ඩුවෙත් සෑම පක්ෂයකම වගකීමක් හැටියට මේ වෙලාවේ මතුවෙලා තියෙනවා.”

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන ලෙස ආරාධනා කළහොත් එය පිළිගන්නවාද යනුවෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා

“පොදු අපේක්ෂක ප්‍රශ්නයක් මට නම් එහෙම ඇතිවෙලා නෑ. මොකද මැතිවරණ තියෙන්නේ 2024 දෙසැම්බර්නේ. නමුත් රට බංකොලොත් වෙන්න යනවා මේ ඊළඟ මාස 3-4 ඇතුළත. ඒ නිසා පොදු වැඩපිළිවෙලක් ගැන තමයි දැන් මුළු රටම කල්පනා කළ යුත්තේ පොදු අපේක්ෂකයාට වඩා.”

ප්‍ර : ඔබතුමා හොඳ කතාවක් කිව්වා දැන්. ආණ්ඩුව ඡන්දෙකින් මේ ප්‍රශ්නෙ විසඳගන්නවද? නැත්නම් වෙනත් වැඩපිළිවෙලකින් මේ ප්‍රශ්නෙ විසඳගන්නවද කියලා ජනාධිපතිතුමාට බලය තියෙනවයි කිව්වා. මොකක්ද ඒ අනිත් වැඩ පිළිවෙල?

පිළිතුර : “පාර්ලිමේන්තුවට පුළුවන්නේ කටයුතු කරන්න. පාර්ලිමේන්තුවටයි මූල්‍ය බලය තියෙන්නෙ. පාර්ලිමේන්තුවට පුළුවන් ඒ පිළිබඳව කටයුතු කරන්න. වෙන රටවලත් මේක කරලා තියෙනවා. පාර්ලිමේන්තුව හරහා විසඳුමක් තියෙනවා.

ප්‍ර : දැන් ඔබතුමා සඳහන් කළා යම්කිසි ආකාරයකින් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉල්ලීමක් කළා නම් රටේ මේ පහුගිය සමයේ යම්කිසි මේ පවතින තත්ත්වයට පත් වෙන් නැතිවෙයි කියලා. ඒකටත් දැන් පමා වැඩියි කියලා. ඒ තත්ත්වය මොකක්ද?

පිළිතුර : ඇත්තටම දැන් අපේ රටේ ඉතිහාසයේ මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙන එකයි මම ප්‍රකාශ කළේ. ඒ කියන්නේ මෑත ඉතිහාසය ගත්තොත් 1988 ජයවර්ධන ජනාධිපතිතුමා ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ වගේම 2009-11 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වගේම 2016-17 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා විසඳගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. දැන් තත්ත්වය ඉතාම බරපතල තත්වයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැන් ගියත් වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය උපදේශකයින් පත් කිරීම තමයි කරන්නේ. ඒ කියන්නේ ඒ මූල්‍ය උපදේශකයින්ගේ වගකීම වෙන්නේ අපට ණය දීලා තියෙන රටවල්, ආයතන, සංවිධාන එක්ක ණය ගෙවීමට නොහැකියි, ඒ පිළිබඳව ණය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න කියලා සාකච්ඡාවක් ආරම්භ කරන එක. ඒ කියන්නේ අපේ ව්‍යංගයෙන් අපි රට බංකොලොත් කියලා පිළිගන්න එක. ඉතින් මේ තත්වය යටතේ මූල් ය අරමුදලට යන්න දැන් හුඟක් පමා වැඩියි. ඒක 2020 විතර කරන්න තිබිච්ච දෙයක්.”

ප්‍ර: ඒ වගේම ජාත්‍යන්තර ආයතනයෙන් දාලා තියෙනවා වර්ගීකරණය අනුව ණය ගෙවීමේ ශ්‍රේණිගත කිරීමක් ශ්‍රී ලංකා කාණ්ඩයට නැවත ණය නොගෙන නොගෙවීමේ අභියෝගයට ලක් කරලා තියෙන රටක් වශයෙන් තවත් පහළට වැටෙන්න ඉඩ තියෙනවා කියලා කිව්වා ඉදිරි කාලයේදී. මේකේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ?

පිළිතුර: “ඉතින් ඒ මේ ඇත්තෝ මොනව කිව්වත් මේ මහ බැංකු අධිපති අය වගේ අය; ලෝකය පිළිගන්නේ මූඩි රේටින් එක එක ඒ අනුව තමයි ආයෝජකයෝ තීරණය කරන්නේ ලංකාවේ ආයෝජන වලට එනවද ඒ වගේම ලංකාවේ බැංකුවල විවෘත කරන ණයවර ලිපි පිළිගන්නවද කියලා ඉතින් ඒ අය මහ බැංකුවේ අය මොන කතන්දර පැවැත්තුවත් අද ගල් අඟුරු ගේන්න ගියාම, තෙල් ගේන්න ගියාම, ගෑස් ගේන්න ගියාම ලංකාවේ ප්‍රධන බැංකු තුන ඒ කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ඒවායේ සිට පෞද්ගලික බැංකු වලටත් අද මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අපේ බැංකුවල මේ ණයවර ගෞරවයක් ගරුත්වයක් හෝ පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමේ නැති එක. ඉතින් ඒක හින්දා මේ මහ බැංකුවේ අය මේ රටේ මිනිස්සුන්ට සුරංගනා කතා කිව්වට ලෝකෙට සුරංගනා කතා වලින් වැඩක් නෑ. ලෝකය දන්නවා ලංකාව අද පත්වෙලා තියෙන ඉතාම භයානක අර්බුදය.”

ප්‍ර: විශේෂයෙන්ම එස්. බී. දිසානායක ඇමතිතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියනවා මෙවැනි තත්වයක මේ නීතිවිරෝධී වර්ජන, නීති විරෝධී පඩි වැඩි කිරීම් ඉල්ලලා පාරට බහින එක වහාම නවත්තන්න. ඒවට රජය පියවර ගන්න කියලා රතු එළියක් පත්තු කරමින් කියනවා. මේ ගැන ඔබතුමාගේ අදහස?

පිළිතුර: “ඔය වගේ තර්ජන රතු එළි වලින් තමයි අපිට අර කියන ආයතන වලින් ඔය අනතුරු ඇඟවීම් ඇවිල්ල තියෙන්නෙ. මොකද මේ රටේ නීතිය, ආධිපත්‍යය නැති රටක් හැටියට ලෝකයේ හංවඩු ගැහුනට පස්සේ කිසිම රටකින් අපට ආයෝජන එන්නෙ නෑ. සංචාරකයෝ එන්න බය වෙනවා. ඔය වගේ තක්කඩි තර්ජන වලින් සිද්ධවෙන්නේ රටේ ප්‍රතිරූපය තවත් කඩා වැටෙන එක මිසක් ස්ථාවර වෙන එක නෙමෙයි. එතුමට තියෙන්නේ ඇමතිකමක් කොහොමහරි ලබාගන්න. ගිහිල්ලා කතා කරලා ඒක කරගන්න. නැතුව රටේ ප්‍රතිරූපය විනාශ කරන්න එපා කියන කාරුණික ආයාචනය තමයි එස්. බී. ඇමතිතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ.”

Share with your friends :