27 C
Colombo
19/01/2025

මුතුරාජවෙල ගැසට්ටුවට ක්‍රියාත්මක කිරීම කල්දැමීමට එකඟත්වයක්

Share with your friends :

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම්කර “රැම්සා” තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පියවරගැනීම ලබන අප්‍රේල් මස 08 වනදා තෙක් සිදුනොකිරීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) එකඟත්වය පළකළේය.

එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය මෙම එකඟත්වය පළකළාය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් මහතා සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය අනුව දවස් 30ක් ඉක්මගිය විට අදාළ ඉඩම් අත්පත්කර ගැනීමේ හැකියාව ලැබෙන බවය.

ඒ අනුව එම ගැසට් නිවේදනය අභියෝගයට ලක්කළ මෙම පෙත්සමට විරෝධතා ගොනු කිරීමට විශාල කාලසීමාවක් ලබානොදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

පෙත්සම අප්‍රේල් මස 08 වනදා කැඳවීමට නියම කෙරිණි.

Share with your friends :