27 C
Colombo
23/10/2024

කල්‍යාණි රන් පිවිසුමෙන්’ ජනතාව දැඩි අපහසුතාවට

Share with your friends :

මෑතකදී විවෘත කළ නව කැලණි පාලම හෙවත් ‘කල්‍යාණි රන් පිවිසුමෙන්’ දුර ගමන් සේවා සාමාන්‍ය බස් රථ ධාවනය කිරීමෙන් කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවට චෝදනා එල්ල වේ.

එම පාලමේ මාර්ග සැළසුමට අනුව කොළඹට පැමිණෙන ජනතාවට හතරේ කණුව, කැලණිය දුම්රිය ස්ථානය, පැළියගොඩ සහ කැලණිය ගුවන් පාළම යන ස්ථානවලින් බසයෙන් පිටවීමට නොහැකි වීමෙන් මෙම තත්වය උදාවී තිබේ.

බස් රථවල කොන්දොස්තර මහතුන් එම මගීන් ඔරුගොඩවත්තෙන් බස්සවා ත්‍රිරෝද රථයක යන ලෙස උපදෙස් දෙන අතර මේ හේතුවෙන් ඇතැම් මගීහූ දැඩි අපහසුතාවට පත්වෙති.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවත් සාමාන්‍ය දුරගමන් සේවා සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවත්ය.

මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ බස් පමණක් නොව සෙසු සැහැල්ලු වාහන ද මෙම තත්වයට මුහුණදීම පිළිබඳව අවධානය යොමු කර පැරණි කැලණි පාලම අසළින් විකල්ප මාර්ගයක් ඉදිකිරීමට මේ වන විට සැළසුම් කරමින් සිටින බවත් එහි ඉදිකිරීම් තවත් මාස තුනකින් පමණ ආරම්භ කරන බවත්ය.

බස් රථ පාලමෙන් ධාවනය කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

Share with your friends :