27 C
Colombo
22/10/2024

බී.ඕ.අයි අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

Share with your friends :

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉල්ලා අස්වීම බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.

එසේ වුවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දින කිහිපයේම සේවයට වාර්තා කර ඇතැයි ද දැනගන්නට ඇත.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉකුත් දින කීපයේ සේවයට වාර්තා කර නැති අතර, ඔහුගේ නිල රථය රියැදුරු ද සමග ආයෝජන මණ්ඩල කාර්යාල වෙත එවා ඇතැයි ද වාර්තා වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් එම බඳවා ගැනීම් කර ඇති බවට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ද පසුගියදා චෝදනා එල්ල විය .

මෙ අතර, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එහි සේවකයන් අතිබහුතරයක් ජනාධිපතිවරයාට බාරදිම සඳහා පෙත්සමක්ද අත්සන් කළ අතර, ආයෝජන මණ්ඩලයේ සේවකයන් 1100ක පමණ පිරිසෙන් අටසිය පනස් දෙනකු පමණ ඊට අත්සන් තබා ඇතැයිද වාර්තා වේ .

Share with your friends :