27 C
Colombo
21/10/2024

මන්ත්‍රීවරු කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙන

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ ,දූ පුතුන් සහ පවුලේ කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සෑම මන්ත්‍රීවරයකුටම සිය කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් හය දෙනකු බඳවා ගැනීමට අවස්ථාව හිමිවන අතර ඒ සෑම නිලධාරියකු සහ සේවකයකු වෙනුවෙන්ම රුපියල් තිස් පන්දහසත් හතළිස් දහසත් අතර මුදලක් රජය විසින් මාසිකව ගෙවනු ලබන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික ලේකම්වරයෙක්, සමීක්ෂණ නිලධාරියෙක්, රියැදුරෝ දෙදෙනෙක්, ලඝු ලේඛකයෙක් සහ කාර්යාල කාර්ය සහයකවරයෙක් ඇතුළත් වෙති.

මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පෞද්ගලික ලේකම්වරුන් වශයෙන් පත්කරගෙන සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ලැබෙන වැටුප් පවුල අතරේම රඳවා තබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණවී ඇතැයි වාර්තා වේ.

අදාල මන්ත්‍රීවරයාගේ යෝජනා අනුව කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙලෙස පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය විසිනි.

මේ අතර ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය සඳහා නිලධාරීන් සහ සේවකයන් දොළොස් දෙනකු පත් කර ගැනීමට අවස්ථාව හිමිවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Share with your friends :