27 C
Colombo
25/10/2024

ගම්මන්පිලත් අන්තිමේ මංගල සමරවීර ගිය මගම යයි

Share with your friends :

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක පවතින මේ අවස්ථාවේ මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට නොවැම්බර් 23 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේය.

“ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලකින් සිදුවෙන්නේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටෙන විට එහි සම්පූර්ණ වාසියම ජනතාවට ලබානොදී එයින් කොටසක් මේ අරමුදලට බැරවෙනවා. ඒ වගේම ඉන්ධන මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ යන විට එහි බර සම්පූර්ණයෙන් ම ජනතාව වෙත පටවන්නේ නැතුව හැකිතාක් දුරට මේ අරමුදල විසින් දරා ගන්නවා. ඒ අනුව ඉදිරියේ දී ඉන්ධන මිල තීරණය කරන්නේ ඉන්දන මිල ස්ථායිකරණ අරමුදල විසින් මිස අමාත්‍යවරුන් විසින් නොවේ.”

කෙසේවෙතත් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන්නේ පළමු වරට නොවේ.

2020 මාර්තු මාසයේදී කොවිඩ් වසංගතයේ බලපෑම මත, ගෝලීය බොරතෙල් මිල ගණන් අනපේක්ෂිත ලෙස පහත වැටුණු අතර, 2020 ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවේ දැක්වෙන්නේ, 2019 වර්ෂයට සාපේක්ෂව බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 64.04 සිට ඩොලර් 43.35ක් දක්වා සියයට 32.3 කින් පහත වැටුණු බවය.

ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් එලෙස විශාල ලෙස පහත වැටුණද, මෙරට ඉන්ධන මිල ගණන්වල කිසිදු අඩුකිරීමක් සිදුනොකර, තෙල් මිලෙහි ප්‍රතිලාභ ආර්ථිකය පුරා සාධාරණ ලෙස පැතිරීම සහතික කිරීම සඳහා බව පවසමින් 2020 මාර්තු මාසයේදී මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවනු ලැබීය.

2020 මහබැංකු වාර්තාවට අනුව දළ වශයෙන් රුපියල් බිලියන 69.2ක් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලේ එක්රැස්ව තිබුණද එයින් බිලියන 48ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතුව තිබූ හිඟ මුදල් අර්ධ වශයෙන් පියවීම සඳහා යොදාගෙන තිබුණි.

තවත් රුපියල් බිලියන 21ක් ශ්‍රී ලංකා මහබැංකුව වෙත නිකුත් කෙරුණු භාණ්ඩාගර බිල්පත් පියවීම සඳහා යොදාගත් බව මහබැංකු වාර්තාවේ සඳහන්ය.

මේ වසරේ ඉන්ධන මිල වැඩිකළ අවස්ථාවේ මිල ස්ථායිකරණ අරමුදල භාවිත කරමින් ඉන්ධන මිල පාලනය කළ නොහැකිදැයි විමසූ අවස්ථාවේ, බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, මිල ස්ථායිකරණ අරමුදල යොදාගෙන විදුලි බල මණ්ඩලය ඛන්ජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදලක් පියවාගෙන ඇති බවය.

මෙවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යළිත් මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

යහපාලන රජය සමයේ එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මිල සූත්‍රයක් හඳුන්වාදුන් අවස්ථාවේ එවකට ඒකාබද්ධ විපක්ෂයෙන් එම මිල සූත්‍රයට දැඩි විවේචනයක් එල්ල වුණි.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවසුවේ, ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ මට්ටමක පවතින මේ අවස්ථාවේ මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම බවය.

“අපිට මේ අරමුදල පිහිට වු වහාම ජනතාවට ක්ෂණික සහන ලබාදීමේ හැකියාව නැහැ. මොකද මේ අරමුදලට අරමුදල් රැස්වෙන්නේ ලෝක වෙළෙඳපොළේ මිල පහළ යනකොට මේ මාස 8 තුළ සියයට 36කින් ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල් මිල ඉහළගොස් තිබෙනවා. අපිට දැන් අරමුදලේ මුදල් ඇත්තෙත් නෑ. භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නෙත් නෑ. මේ මොහොතේ කළ යුත්තේ වහාම ශ්‍රී ලංකාවට මිල සුත්‍රයක් හඳුන්වා දීමයි. මංගලගේ මිල සුත්‍රය විවේචනය කරපු අපි මිල සුත්‍රයක් හඳුන්වා දෙන්නේ ඇයි කියලා සමහරු අපෙන් අහනවා. ඔබට මතක ඇති මංගල සමරවීර ඇමති තුමා මිල සුත්‍රය උස්සගෙන V1+V2+V3+V4 සමානයි MRP කියලා සුත්‍රයක් ඉදිරිපත් කළා. ඒ සුත්‍රය ඉදිරිපත් කරාට. ඒ සුත්‍රය හැදෙන විදිය කවදාවත් හෙළි කළේ නෑ. සරලව කිව්වොත් ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලයි. හැබැයි මුකුත් නොකර ඉන්නවා ට වඩා මිල සුත්‍රය හෝ ක්‍රියාත්මක කිරීම රටට වාසිදායකයි. ”

Share with your friends :