27 C
Colombo
25/10/2024

අපි ගහන්නේ නෑ හැබැයි ගහපු දාට කාට කාට වදිද දන්නේ නෑ

Share with your friends :

අතීතයේ ඇතැම් ආණ්ඩු හවුල් පක්ෂවලට පහරදී ඒවා විනාශ කරගත් බවත් මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත යැයි ඔබ සියලු දෙනාට සිහිපත් කර දෙන බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අපි ගහගන්න ජාතියේ මිනිස්සු නොවෙයි. ඒත් ගැහුවොත් අපි ගහන්නේ ඔය විදියට නොවෙයි. අපි ගහන්න ගිය දාට කාට මොන තුවාල ඇති වේද කියන්න මමවත් දන්නේ නැහැ..” යැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මෙයට පෙර ඔහුට විරුද්ධව කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

“මම ගෙවල් තුනක් එකතු කරලා පදිංචි වෙලා ඉන්නවා කියලා කෘෂිකර්ම ඇමැතිතුමා මේ සභාවේදී ප්‍රකාශයක් කළා. එය ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවට මම අභියෝගයක් කළා. ඒත් ඔහු මේ දක්වාම ඒ චෝදනාව ඔප්පු කරල නැහැ. එතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඊට පස්සේ ජනාධිපති වැය ශීර්ෂය විවාදයට ගත් පසුගිය අඟහරුවාදා මහින්දානන්ද ප්‍රකාශ කළා, හිටපු ජනාධිපතිවරයා වාහන දෙසීයක් පාවිච්චි කළා කියලා. ඒ වගේම ඒ කාලේ ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 3.5යි කියලත් ඔහු ප්‍රකාශ කළා. වාහන එක ගාණේ පාවිච්චි කළත් දවස් දෙසීයක් යනවා. ඒ කතාවත් සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මට වෙන් කරලා තිබුණේ වාහන හතරයි. මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි.

“මම විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘති අද කොහෙත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික පරිසර වැඩසටහන මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල යන වැඩසටහන් වලට තමයි මේ මුදල් වියදම් කළේ. ඒ වැඩසටහන් රට පුරා ඉතා සාර්ථක වුණා.

මමත් මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුවේ ඇමතිවරයකු මට මෙහෙම චෝදනා කිරීම වැරදියි. මේවා දුරදිග යන්න දෙන්න එපා. අපි දාහතර දෙනා පෙරේදා රැස්වෙලා තමයි මේ ප්‍රකාශය කරන්න තීරණය කළේ. මේ මඩ ගැහිලි, වැරදි ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:

හිටපු ජනාධිපතිතුමාට මෙහෙම මඩ ගහනකොට අපට ඉවසගෙන ඉන්න බැහැ. මහින්දානන්ද අද මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. හැබැයි පස්ස එළියට දාගෙන ඉන්නේ. එතුමා ඔය වළ තව හාරන්න,හාරන්න කුණු ගඳ එනවා.

ආණ්ඩුවේ කොටස්කාරයන් විදිහට අපි මේ ආණ්ඩුව රැකගන්න කටයුතු කරලා තියෙනවා. ගහන්න ඕනනම් අපිට ගහන්න. පක්ෂ නායකයාට ගහලා මේක කරගෙන යන්න හැදුවොත් විශාල අර්බුදයකට යනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයෙක්. පොළොන්නරුවෙන් වැඩිම ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නෙවෙයි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:

මන්ත්‍රීවරයකු බරපතළ වැරදි ප්‍රකාශයක් කළ හොත් පිළිතුරු දීමට කලින් ඒ මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න කරුණාකරලා සභාවට ඇවිල්ලා ඉන්න කියලා. එහෙම වුණා නම් එතුමාට ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න අවස්ථාව තිබුණා. අඩුපාඩුවක් වෙලා නැතිනම් ඒක පැහැදිලි කරයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ නැහැ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම මෙතන සඳහන් වුණා කියලා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාර්යාලයේ වියදම් සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන මේ සභාවේදී එදා ඇගයීමට ලක් වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසිම ගැටලුවක් මතුවී නැහැ. ඒ විදිහට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ජනාධිපතිතුමා තමන්ගෙ වැය ශීර්ෂය ගැන පැහැදිලි ආදර්ශයක් ලබාදී තිබෙනවා. එතුමා ඒක පැහැදිලිව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතා රට එක්කගෙන ගියේ ඉතාම සීමිත නිලධාරින් පිරිසක්.තමන්ගෙ පවුලෙ කෙනෙක් අරගෙන ගියා නම් එතුමා ඒවට අතින් වැය කළා. පක්ෂ අතර අර්බුදයකට මෙය හේතුවක් නොවෙයි.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:

මම මෙතන නැති වෙලාවෙ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා, වළවල් හෑරුවම ගඳ වැඩිවෙයි කියලා. හෑරුවොත් ගොඩක් ඒවයි ගඳ එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක්වල ඉඳලා ගොඩක් දේවල් එන්න පුළුවන්. ඒ නිසා මම වළවල් ගැන කතා කරන්නේ නෑ.

හිටපු ජනාධිපතිවරයාගේත් වර්තමාන ජනාධිතිවරයාගේත් වැය ශීර්ෂ ගැන මම මෙතනදී කතා කළා. මම කිව්වේ වැය ශීර්ෂ දෙක අතර වෙනසයි. වර්තමාන ජනාධිපතිවරයා රටට ලබා දීපු ආදර්ශය මම කතා කළා.ඒක කියන්න අපිට අයිතියක් තියෙනවා.මට මගේ ජනාධිපතිතුමා ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට වඩා වත්මන් ජනාධිපතිවරයා බිලියන 1.7 ක් ඉතිරි කරල තියෙනවා නම් ඒක කතා කිරීමේ අයිතිය අපට තියෙනවා. මම ඒක තමයි පැහැදිලි කරල තියෙන්නෙ. මම ඒ වියදම් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.

මම එතුමාගේ නිලනිවෙස ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විස්තර ලබා ගත්තා. මම මේක කියන්න හිටියේ නැහැ. දොස් කියපු නිසා මම දැන් මේක සභාගත කරනවා. කිසිදු පක්ෂ නායකයකුට ගහන්න අපට අවශ්‍යතාවක් නැහැ. මහින්දානන්දට වෙළේ යන්න බැහැ කියලත් කිව්වනේ. අපි වෙළේ වගේම නියරේත් ගිහිල්ලා තියෙනවා. අපිට ගහන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ගැහුවොත් අපිත් ගහනවා. අපි වැරදි කරල නැහැ. කොන්ද පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්න අපි ලැහැස්ති නැහැ. අපි නැති වෙලාවෙ මේවා කතා කිරීම වැරදියි.

මගේ පඹයෝ නෙමෙයි, මොක පිච්චවත් මම රජයේ තීන්දුව සමග සිටිනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා:

මහින්දානන්ද බොහොම වේගවත් සංවේදී කතාවක් කළා. හිටපු ජනාධිපති විදිහට ඒ චෝදනාවලට පිළිතුරු දීමට මටත් අයිතියක් තියෙනවා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. අපි ගහගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි. ආපු ගැහුවොත් ගහන්නේ ඔය විදියට නොවෙයි. වෙන විදියකට. ඒකත් මම කියන්නට ඕන.

” ජනාධිපති වැය ශීර්ෂ ගැන මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශ ගැන ගැටලුවක් නැහැ. වර්තමාන ජනාධිපතිවරයා ආදර්ශයක් දීල තියෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාත් ප්‍රකාශයක් කළා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැය ශීර්ෂයත් වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයත් අරගත්තේ මම අනවශ්‍ය විදිහට මුදල් වියදම් කළා කියලා පෙන්වන්නයි. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් කටයුතු කළ විදිය ,වියදම් කරපු විදිය, අනුව නම් ආදර්ශයක් ලබාදීලා තියෙනවා. එදා ගුවන් යානා පාවිච්චි කරපු හැටි, හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි වාහන පාවිච්චි කරපු හැටි බලල 2015 ඉඳලා මම ආදර්ශයක් දුන්නා. මම ඒක පැහැදිලිවම කියනවා.

ගහගන්න ගියොත් මොන මොන තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. අතීතයේ සමහර පක්ෂ ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අතේ. ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තම වෙන දේ අපි ඉතිහාසය පුරාම දැක්කා. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු පළමුවැනි මැතිවරණයේදී බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා.බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64දී. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව හැත්තෑ පහේදී.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා අන්තිමට ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනතුරුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි වුණු තත්වයට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014දී මම සාධාරණ හේතු මත අයින් වෙලා පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ ආණ්ඩුව පරාජය වුණා. තුනෙන් දෙකේ බලය කියන එක සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධව හිතන්න ඕන.මීට වඩා බහුශෘත ලෙස හිතන්න ඕන .

මේ ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. අපිටත් බොහොම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට නම් ගහ ගන්න බැහැ. අපි බොහොම අහිංසක මිනිස්සු. මහින්දානන්ද අලුත්ගමගේට අපේ දුමින්ද දිසානායක ඇමතිතුමා හම්බ වෙලා තියෙනවා ඊයේ. ඒ වෙලාවෙදි දුමින්ද අහලා තියනවා, මොනවද මේවැඩක් නැති වාහන කතා කියලා. එතනදි මහින්දානන්ද කියලා තියෙනවා, දන්නෙ නැද්ද අපේ ලොක්කා නඟන්න කියන දේවල්නේ ඕවා කියලා. ලොක්කා නග්ග ගත්තට අපිට කමක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නෙ නැතුව ලොක්කා නග්ග ගන්න දේවල් ඕනතරම් තියෙනවනේ. අපිත් ඉන්නේ ඔය ලොක්කාගේ නායකත්වය යටතේ නේ. ආණ්ඩු පක්ෂය ඇතුළේ ප්‍රශ්න හදා ගන්නේ නැතුව අපි මීට වඩා සංවරව කටයුතු කළ යුතුයි. බොක්සිං ගහගන්න ඒවට නම් මම නැහැ . අපි මිත්‍රත්වය තියාගමු. පහළට වැටෙන්න ඕනේ නැහැ. මහින්දානන්ද කැබිනට් ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක්. දයාසිරි ජයසේකර හිටපු මහ ඇමතිවරයෙක්. අපේ මට්ටම්වලට ගැලපෙන විදියට අපි කතාබහ කර ගනිමු.

මගේ ගෙවල් ගැන කියනකොට අනිත් අයගෙ ගෙවල් ගැනත් කියනවා නම් හොඳයි. වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීල තියෙනවා. මම ඒක හොඳ දෙයක් විදිහට දකිනවා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් ක්‍රියා කරපු ආකාරය දිහා බලලා ආදර්ශයක් දීල තියෙනවා.අපි ගුණයහපත්, යමක් කමක් තේරෙන මිනිස්සු විදිහට වැඩකරමු කියලා මම යෝජනා කරනවා. මේක දිගට ගෙන යෑම අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න යම් කිසි තැනකට ගන්න එක සභානායකතුමාගේ වගකීම.

මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්ව. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණේ. ආණ්ඩුව මේ කාලයේදී බරපතළ ලෙස අප්‍රසාදයට පත්වීමට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය. ඒකෙන් තමයි පඹයෝ පුච්චන ඒව ඔක්කොම ආවේ. ඔබතුමාගේ පඹයෝ පුච්ච ගත්තේ ඔබතුමාමයි. මම මේවා උපේක්ෂා සහගතව ඉවසන කෙනෙක්. ආණ්ඩුවක් විදිහට වැඩ කරනව නම් සහයෝගයෙන් වැඩ කරමු. මම ඊට වඩා කියන්නේ නැහැ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:

මම ජනාධිපතිතුමා චූන් කරන්න යමක් කිව්වා කියල හිටපු ජනාධිපතිතුමා දැන් මෙතන කිව්වා. ඒක අතේ පැලවෙන බොරුවක්. මහින්දානන්ද නිසයි මේ ඔක්කොම වුණේ කියලා එතුමා තවත් කතාවක් කිව්වා . මම ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තිය. ඒ නිසා මට පාස්කු ප්‍රහාරය ගැනත් මෙතන කියන්න පුළුවන් .

එහෙම නම් මම ඒක ගැනත් කියන්නම්.ඒ නිසා මම එතනින් එහාට යන්නෙ නෑ .මෛත්‍රිපාල ජනාධිපතිවරයාට රිදෙන්න පුළුවන්. මම කිසි දවසක බොරුවක් කියලා නැහැ.මම හිටියේ ප්‍රතිපත්තිය වෙනුවෙන්. මම අගමැති දාලා ගිහින් අගමැතිගෙ කකුලෙන් අදින්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ බොරු කියන්න හොඳ නැහැ.

Share with your friends :