27 C
Colombo
26/10/2024

ඉන්ධන වංචාවකට හසුවූ උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමැතිට ඇප

Share with your friends :

සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබු උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප මත මුදාහැරීමට නියම කළ කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඔවුන්ට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 07 වැනිදා සිට විභාග කිරීමට අද (24) නියම කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මියයි.

2012 සැප්තැම්බර් මස 27 වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දුණෂය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පවරා ඇත.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකාරියට හිමි ඉන්ධන දීමනාව ඇගේ වැටුපට එක් කර තිබියදී උතුරු මැද පළාත් සභාව එහි ප්‍රධාන ඇමතිවරයා වශයෙන් පළමු විත්තිකරුට නිකුත් කර තිබු වව්චර් පත් මඟින් රුපියල් 26,80,528/-ක හා රුපියල් 53,79,623/-ක ඉන්ධන ලබාගැනීම සහ එලෙස ඉන්ධන ලබාගැනීම සඳහා පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

රජයේ චක්‍රලේඛණය අනුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වශයෙන් තමාට හිමිව තිබු මෝටර් රථ දෙකට හා ආරක්‍ෂක රථයට අමතරව තවත් වාහන තුනක් තමාට මුදාහැරීමට පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

විත්තිකරුවන්ට එරෙහි නඩුව ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 12 දෙනෙකු හා ලේඛණ 31ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි.

අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසි වලට අනුව විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ට එරෙහි අධිචෝදනා පත්‍ර හා ඊට අදාළ ඇමුණුම් විවෘත අධිකරණයේදී ඔවුන්ට බාර දුන්හ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණය හමුවේ අධිචෝදනා මත නඩු පැවරු බවත් මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.

අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටි නීතීඥ දර්ශන කරුප්පු මහතා තම සේවාදායකයින්ට එරෙහිව ඉදිරිපත් කොට ඇත්තේ දෝෂ සහගත නීතීවීරෝධී චෝදනා පත්‍රයක් යැයි පැවසීය.

මෙම චෝදනා පත්‍රයේ ඇති දෝෂ නිවැරදි කිරීමට පවා නොහැකි බරපතල ඒවා යැයි පෙන්වා දුන් දර්ශන කුරුප්පු මහතා මෙම චෝදනා පත්‍රය මත නඩුව පවත්වාගෙන යෑමට නොහැකි හෙයින් තමන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි පැවසීය.

විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 07 වැනිදා විභාග කිරීමට දින නියම කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව විභාගයට කැඳවන ලබන අවස්ථාවේදී මුලික විරෝධතාවය ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශවයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සිසිර රත්නායක, මංගල රණරාජා, නිලන්ත විජේසිංහ, බුද්ධික තිලකරත්න, දිනෙරූ බණ්ඩාර සහ සචිනි ඇල්විටිගල සමඟ නීතීඥ දර්ශන කරුප්පු මහතා පෙනී සිටියේය.

Share with your friends :