27 C
Colombo
28/10/2024

උඩ ඉන්න දෙවියෝ බලාගනිවි-ඇමැති පුටුවක් නැත්තේ මට විතරයි-ගීතා

Share with your friends :

එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට හොඳින් සලකපු ආකාරය බවත් ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

“මේවා උඩ ඉන්න දෙවියෝ බලාගනිවි. ලෝකයේ ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවා” යැයිද ඇය සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

එදා වැඩි දෙනා ඒකාබද්ධ විපක්ෂය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවී ගියත් තමා පමණක් එම විපක්ෂයේ රැඳී බව පැවසූ කුමාරසිංහ මහත්මිය එදා ඒකාබද්ධ විපක්ෂයට කළු පටියක් ගෙන්නවත් කවුරුත් නොසිටි බවත් කීවාය.

කළු පටි ගෙන ආවේද තමා බව ඇය සඳහන් කළාය.

මේ අතර අද එක වේලක් කන ජනතාවට වේල් තුනම කෑමට අවස්ථාව සලසන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද ඇය ප්‍රකාශ කළාය.

බඩගින්නේ සිටින ජනතාවගේ එම ගින්න නිවන්නැයිද තමා ඉල්ලීමක් කරන බව කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙවර අයවැයෙන් සිනමා කලාවට ලොකු දෙයක් කර නැති බවත් සියලුම කලා කටයුතු එක පොදියට දමා ඇති බවත් ඇය කීවාය.

මේ නිසා ඡන්ද කාලයේදී දේශපාලඥයන් පසුපස යන කලාකරුවන්ට හොඳ වැඩේ යැයි තමා ප්‍රකාශ කරන බවත් දැන්වත් ඒ ගැන සිතා බලන්නැයි සහෝදර කලා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය සිනාසෙමින් වැඩිදුරටත් සඳහන් කළාය .

Share with your friends :