27 C
Colombo
29/10/2024

පනාමුරේ පොලිසියේ මිය ගිය තරුණයාගේ මරණයට විවෘත තීන්දුවක්

Share with your friends :

පනාමුර පොලීසියේ සිර මැදිරියේ දී ගෙලවැළලාගෙන මියගිය ඉන්දික ජයරත්න නැමැත්තාගේ මරණයට හේතුව රජයේ රසපරීක්‍ෂකවරයාගේ නිගමනයෙන් පසු ලබාදෙන බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් නිල්මිණී රන්කොත්ගේ මහත්මිය එම මරණය සම්බන්‍ධයෙන් විවෘත තීන්දුවක් දෙමින් ප‍්‍රකාශ කළාය.

ඇඹිලිපිටිය, පනාමුර, වැලිපතයායේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවු කරලහින්ගේ ඉන්දික ජයරත්න යන අය පනාමුර පොලිසියේ සිර මැදිරියේ ගෙලවැළලාගෙන මියගොස් තිබුණි.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ මහතා විසින් මෙම මරණය සම්බන්‍ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද එම රෝහලේ දී පවත්වනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණයට හේතුව නිගමනය කිරීමට සහ වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කළ බව අධිකරණයට දැන්වීය.

මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය ඇඹිලිපිටිය දිසා මහ රෝහලේදී නොපවත්වා වෙනත් රෝහලක දී පවත්වන ලෙස මෙම මරණය සම්බන්ධ විරෝධතාවේ යෙදී සිටි ගම්වාසීහු ඉල්ලා සිටියහ.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු සිටිය දී සිරුර වෙනත් රෝහලකට යැවීමේ අවශ්‍යතාවක් නැති බව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය තීන්දුකර තිබුණාය.

ඒ අනුව අතිරේක මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගය අනුව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුණසිංහ ගමගේ මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී.

Share with your friends :