27 C
Colombo
23/09/2024

චීන පොහොර ලංකාවේ ගොඩබෑමට නොදෙන බව චීන නිලධාරීන්ට දන්වලා

Share with your friends :

මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

මතභේදයට තුඩු දී ඇති මෙම චීන පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී මේ බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව මහාචාර්ය උදිත් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අදාළ පොහොර තොගය ලංකාවට එවු චීන සමාගම නීතීඥ එම්.ජේ.එස්. ෆොන්සේකා මහතා මාර්ගයෙන් ලංකා ශාක නිරෝධායන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චි මහතාගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දියක් ඉල්ලා ඇති පසුබිමක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් මෙලෙස සාකච්ඡා පවත්වනු ලැබීය.

ශාක නිරෝධායන ආයතනය තම සමාගමේ පොහොර සාම්පල තුළ තිබී අර්වීනීයා නමැති බැක්ටීරියා සොයා ගත් බව පැවසීම සත්‍යයෙන් තොර බව පවසමින් එම කරුණ ප්‍රතික්ෂේප කරන චීන සමාගම ශාක නිරෝධායන ආයතනය සත්‍යයෙන් තොර වාර්තාවක් පළ කිරීම හේතූවෙන් තම සමාගමට ඉමහත් අපකීර්තියක් වු බව කියමින් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දිය ඉල්ලා ඇත.

මෙවන් පසුබිමක් යටතේ පැවැති සාකච්ඡාවේදී මතභේදයට තුඩුදී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ බලධාරීන් විසින් චීන තානාපති නිලධාරීන්ගේ අවධානයට ලක් කොට ඇත.

ලංකා ශාක නිරෝධායන ආයතනය ගන්නා ලද තීරණය හේතූවෙන් අදාළ පොහොර තොග ලංකාවට ගොඩබෑමට ඉඩ ලබාදීමට හැකියාවක් නැති බව චීන තානාපති නිලධාරීන් සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවේදී ඔවුන්ගේ අවධානයට ලක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.

Share with your friends :