27 C
Colombo
23/09/2024

කැබිනෙට්ටුව අසාර්ථකයි, රජයේ පැවැත්ම අවිනිශ්චිතයි. තනතුරක් දුන්නත් ගන්නෑ – අනුර යාපා

Share with your friends :

ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

“ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රාජ්‍යයක පැවැත්ම හරිම අවිනිශ්චිතයි. මට හිතෙනවා තනතුරක් නැතුව ඉන්න එක වඩා හොඳයි කියලා තනතුරක් තියාගෙන ඉන්නවාට වඩා. මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ තනතුරක් ගන්නවත්. එහෙම ඉල්ලීමක් කළත් මං ඒක නොගන්න තමයි තීන්දු කරලා තියෙන්නෙ.

කෙසේවෙතත් අපි අවදියෙන් ඉන්නවා දේශපාලකයො හැටියට මේ රට ගමන් කරන්නෙ කොයි පැත්තටද කියලා. මොකද අපට සෑමදාම නිහඬව ඉන්නත් බෑ. සෑමදාම එකඟ වෙන්නත් බෑ. මේ රටේ ව්‍යවස්ථාවක් අලුතින් ගේනවා කියලා කතාවක් තියෙනවානෙ, ඒ ව්‍යවස්ථාව හදන්නෙ කොහෙද කියලාවත් අපි දන්නෙ නෑ. ඒක හදනවාලු, කොහෙද හදන්නෙ කියලා අපට තේරෙන්නෙ නෑ, කවුද හදන්නෙ කියලා අපි දන්නෙත් නෑ. ඉතිං මේක නිශ්ශබ්ද භාවයක්වත් කොන්ද පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙවෙයි, හරි තැන හරි විදියට හිටගන්න අපට අපේ වමේ තිබුණු දේශපාලන අතීත පුහුණුව අපට ඕනෙ තරම් ඉඩ හදලා දෙයි අවස්ථාව කරගන්න.

මම අවබෝධ කරගනිමින් ඉන්නවා මොකක්ද අපට ඉදිරියේදී කරන්න පුළුවන් වෙන්නෙ කියන එක. මේ කැබිනට් මණ්ඩලය තුළ රටේ ප්‍රශ්න සාධාරණව කතාවෙන්නෙ නෑ කියලා සහ තීන්දු ගැනීමේදී හරබර ඇතිව තීන්දු ගැනීමේ හැකියාවක් නෑ කියලා කතාවක් තියෙනවා. ඒක සත්‍යයක් හැටියට තමා මට පේන්නෙ. ඒක නිසා ඒ තේරීම කරන්න ඕනෙ ජනාධිපතිවරයානෙ, එයාගෙ තේරීම හරිද වැරදිද කියලා තීරණය වෙන්නෙ ඊළඟ ඡන්දෙදි. මං මේක කීප තැනක අහලාත් තිබුණා ඩිව් ගුණසේකර මැතිතුමා මේක මට වැඩිය බොහොම සැරට කිව්වා, මේ කැබිනට් මණ්ඩලය අසාර්ථකයි. නිශ්ශබ්ද භාවයෙන් අපි ඉන්නෙත් මේ කණගාටුව අපේ හිතේ තියාගෙන”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share with your friends :