27 C
Colombo
24/09/2024

ඇමති බන්දුල නීති කඩලා

Share with your friends :

සතොස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීම නීතිවිරෝධී බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා,

“විශේෂයෙන් රාජ්‍ය ආයතනයකට ගියාම කියනවා නම් තමන්ට අවශ්‍ය භාණ්ඩය මිලදී ගන්න වෙන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක් මිලදී ගත්තාම පමණයි කියලා ඒක නීතියට පටහැනියි. පාරිභෝගික ආරක්ෂණ පනතේ 11 වන වගන්තියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, කොන්දේසිවලට යටත්ව තමයි ලබාදෙන්නේ කියන එක කියන්න බෑ කියලා. එවැනි තත්ත්වයක් තිබෙනවා නම් පාරිභෝගිකයා කළයුතු වන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියට දැනුම්දෙන එක.”

කෙසේවෙතත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ සතොස මගින් ලැබෙන සහනය මුවාවෙන් ඇතැම් ජාවාරම්කාර වෙළෙඳුන් භාණ්ඩ වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා අමතර භාණ්ඩ 5ක් මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බවය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“ඒ හදන්නේ මංකොල්ලකාරයෝ ටික නැති කරන්න. රුපියල් 20ක් විතර මිල අඩුවෙන් තියෙන සීනි ටික ගත්තාම රුපියල් 100ක් ලාබයි. ඒක තව තැනකට ගිහිල්ලා අලෙවි කරන ජාවාරම නවත්වන්න. ඒ භාණ්ඩ ටික ඇත්ත පාරිභෝගිකයාට ලබාදෙන්න ඕන. සතොස තියෙන සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම වෙළෙඳපොළ තුළ තියෙන අනෙක් භාණ්ඩ මිලට වඩා අඩුයි.”

ඒ අනුව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ සතොස හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාරිභෝගිකයාට සහනදායී මිලකට ලබාගැනීමට ඉඩ සලසා ඇති බවය.

මේ අතර සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන සුදු සීනි, දුඹුරු සීනි, කඩල, උම්බලකඩ, මුං ඇට, කට්ටා කරවල, සාලයා කරවල, බ්‍රොයිලර් කුකුළු මස්, බඩඉරිඟු, ලොකු ලූනු යන භාණ්ඩවල පාලන මිල රජය ඉවත් කිරීමට පියවර ගත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කෙරුණු ගැසට් පත්‍ර 07ක් අවලංගු කරමිනි.

පිටකොටුව කරවල වෙළෙඳ සංගමය පෙන්වා දෙන්නේ රටේ පවතින ඩොලර් විනිමය හිඟය ආනයනික කරවල කර්මාන්තයටද බලපා ඇති බැවින් කරවල මිලද ඉහළ යාමේ අවදානමක් ඇති බවය.

මේ අතර ගෑස් හිඟය හේතුවෙන් පානදුර හා වාද්දුව ප්‍රදේශවල රාත්‍රී අවහන්හල්හිමියන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බව අනාවරණ විය.

ඔවුන් පවසන්නේ, “අද ගෑස් ඉවර වුණොත් ආයේ සතියකින් තමයි ගෑස් එකක් ගන්න ලැබෙන්නේ. රෙස්ටුරන්ට් එක විවෘත කරලා තාම දවස් 3යි. අද සෑහෙන්න දුරක් ගියා ගෑස් එකක් ගන්න. කිසිම තැනක නෑ. වැඩි ගාණටවත් ගන්න ගෑස් නෑ. රජයේ වැඩපිළිවෙලක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.”

Share with your friends :