27 C
Colombo
25/09/2024

ඥානසාර හිමියන් පත් කිරීමට විරෝධය පා අලි සබ්රි ඉල්ලා අස්වෙයිද ?

Share with your friends :

එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව ඇත.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු සබ්රි මහතා ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවටද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.

මේ අතර මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කරන බව තමා දැන නොසිටි බවත් තමාගේ අදහස් විමසීමකින් තොරව මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳව තමා නොසතුටට පත්ව සිටින බවත් අලි සබ්‍රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසුමකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවැනි බලකා පිහිටුවීම තේරුමක් නැති වැඩක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එම බළකායට පැවරෙන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එසේම අධිකරණ අමාත්‍යාංශය එක රටක් එක නීතියක් යන කාරණයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් අධ්‍යයනය කර ඒවා යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට එකී යෝජනා ඇතුළත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇති තවත් කාර්යයක් බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර මෙම බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශව ගණනාවකින්ද විරෝධය එල්ල වී ඇත.
කෙසේ වෙතත් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය හේතු මත මෙතෙක් ඉල්ලා අස්වී ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ ගාමිණී ජයසුරිය ඇමතිවරයා පමණි.

Share with your friends :