27 C
Colombo
20/01/2025

කර්මාන්තවලට සහන ගන්න විමල් සටනේ

Share with your friends :

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සඳහා ලබා දෙන සහන ප්‍රමාණවත් නැති බවත් මෙම අසමතුලිත තත්වය හැකි ඉක්මනින් පාලනය නොකළහොත් කඩිනම් ආර්ථික සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීම රජයට අභියෝගයක් වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලිපියක් යවමින් දැනුම් දෙයි.

මෙය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නිර්ණායකයන්ට ඉතා ප්‍රතිවිරුද්ධ තත්වයක් බවද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බැංකු ණය වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාර, මිලදී ගැනීම් හා විකිණීම් ව්‍යාපාර සඳහා බවත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙත බැංකු ලබාදී ඇත්තේ මුළු ණය දීම් ප්‍රමාණයෙන් සියයට පහළොවකට අඩු ප්‍රතිශතයක් බවත් වීරවංශ මහතා එම ලිපියෙන් දැනුම් දී ඇත.

එසේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවලට ලබාදුන් ණය සඳහා අයකරන පොලී ප්‍රතිශතයද ඉහළ අගයක් පෙන්නුම් කරන බව පවසන ඇමැතිවරයා කර්මාන්ත වලට ලබාදුන් ණය සඳහා අය කෙරුණු පොළී මුදල්වලින් බැංකු ඇතුළු මූල්‍ය ආයතන සිය ආදායම් විශාල වශයෙන් වර්ධනය කර ගෙන ඇතැයිද සඳහන් කරයි.

මේ අනුව රටේ විශාල පසුබෑමකට ලක්ව ඇති ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදී ඇති අසමානතාවයන් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂිත වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙනු ලැබිය යුතු බවත් ණය මුදල් නැවත අයකර ගැනීම සඳහා ලබාදෙන සහන දීර්ඝ කිරීම, සහ සියලුම කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම කර්මාන්තකරුවන්ට සෘජු ප්‍රතිලාභ ලැබෙන ආකාරයට කරන්නැයි තමා යෝජනා කරන බවත් විමල් වීරවංශ මහතා එම ලිපියෙන් දැනුම් දෙයි.

Share with your friends :