27 C
Colombo
19/01/2025

ලෝක වෙළඳ පොලේ මිල ඉහල යන ආකාරය අනුව භාණ්ඩ මිල ඉහල දමන්නට නම් රටකට ආණ්ඩුවක් මොකටද?

Share with your friends :

ලෝක වෙළඳ පොලේ මිල ඉහල යන ආකාරය අනුව භාණ්ඩ මිල ඉහල දමන්නට නම් රටකට ආණ්ඩුවක් මොකටද ? ….. අපි බලයට ආපුවහම ලෝක වෙළඳ පොලේ ප්ලග් එක ගලවනවා …… මේ ආකාරයට වහසි බස් දෙඩුවේ කලකට පෙර විපක්ෂයේ සිටි විමල් වීරවංශ මහතාය.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කිහිපයක් පිළිබඳව තීරණාත්මක තීරණයක් ගනු ලැබු අතර ඒ අනුව මෙතෙක් කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. එසේ මිල පාලනය ඉවත් කිරීමේ තීරණය ගනු ලැබූ අවස්ථාවේ කිසිදු ඇමතිවරයකු ඊට විරෝධය පල කර තිබුනේ නැත.
මෙහිදී වඩාත් සැලකිල්ලට ගතයුතු කාරණය වන්නේ අදාළ ඇතැම් සමාගම් විසින් ලෝක වෙළඳ පොලේ මිල හා තමන්ගේ සමාගම් වල වියදම් සම්බන්ධයෙන් රජයට ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමය. අනෙක් කරණය නම් පසුගිය කාලයේ මේ භාණ්ඩ ලෝක වෙළඳපොලේ අඩුවූ කාල වලදී මෙරට මිල අඩු නොකර මේ සමාගම් විශාල වශයෙන් ලාභ ලැබීමය. මේවා පාලනය කරන්නට ඉන්නා රාජ්‍ය නිලධාරීන් බොහොමයක් ඉන්නේ අදාල සමාගම්වල සාක්කුවේය. පාර්භෝහික අධිකාරියේ ඉහල නිලධාරීන් පිරිසක් පුද්ගලික සමාගමක අනුග්‍රහයෙන් යුරෝපයේ සිදුකල නීති විරෝධී සංචාරයක් වෙනුවෙන් චෝදනා ලද පිරස් මේ වන අදාල පරීක්ෂණ යට ගසා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්නේ මෙවැනි නිලධාරීන්ය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ පාලන මිල ඉවත් කළත් එම භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි.
සතොස ආයතනයේ සිදුවූ මහාපරිමාණ වංචා ගැන පරීක්ෂණ වල ප්‍රගතියක් දක්නට නැත. සතොස සැපයුම්කරුවන්ට බලපෑම් කරන සම්බන්ධීකරණ ලේකම්වරු සිටිති. මොවුන් නව සැපයුම්කරුවන් වෙනුවෙන් නිලධාරීන්ට බලපෑම්ද කරති. මාධ්‍යවේදීන් රහස් පොලීසියට ගෙනයන්නට උත්සාහ කරන පියවරුන්ට තම දරුවන් හදා ගන්නට නොහැකිවී තිබේ.

කෙසේ වෙතත් මීට පෙර සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් විසින් මාධ්‍ය හමුවක් කැඳවා ඔවුන් විසින්ම සහල් සඳහා රජයේ පැවති පාලන මිලට වඩා වැඩි මිල ගණන් නියම කිරීම සිදුකරන ලදී. ඒ අනුව රටේ මිල තීරකයා ඩඩ්ලි සිරිසේන මහතා බව අකමැත්තෙන් වුවද පිලි ගැනීමට සිදුව තිබේ.
සහල් මිල සම්බන්ධයෙන් කටමැත දෙඩවූ සියලු ඇමතිවරු දන්ගස්වන්නට ඔහු සමත්ව තිබේ. රජයක්ම දැනගස්වන්නට තරම් මේ සහල් මාෆියාව ප්‍රබල වී තිබේ.

මෙලෙස පාලන මිල ඉවත් කරන ලද කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මීට පෙර සිටම ආනයනකරුවන් විසින් මිල ඉහළ දමන ලෙස ඉල්ලා තිබිණි.

පාලන මිල ඉවත් කිරීමත් සමග ඒවයේ මිල තීරකයා වන්නේ අදාළ සමාගම්ය.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනෙක් පවසන්නේ පාලන මිල ඉවත් කිරීම නිසා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් සිය කැමැත්ත පරිදි මිල ගණන් ඉහළ දමනු ඇති බවයි.
අද ජනතාවට වර්තමාන රජයෙන් අසන්නට ඇත්තේද ” ලෝක වෙළඳ පොලේ මිල ඉහල යන ආකාරය අනුව භාණ්ඩ මිල ඉහල දමන්නට නම් රටකට ආණ්ඩුවක් මොකටද ? ” යන්නය. අවාසනාවට වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රබල ඇමති ධුරයක් එදා මේ කතාව කී විමල් වීරවංශ දරන අතර මිල පාලනය ඉවත් කිරීමේ කැබිනට් රැස්වීමට ඔහුද සහභාගී වන්නට ඇත.

Share with your friends :