දේශපාලන වුවමනාවන් නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.
“දැන් අපේ කතෝලික සමාජයට බලපාන පාස්කු ප්‍රහාරය සිදුවීම තුළ ඒ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරගන්න බැරි තත්වයක් අද උදාවෙලා තියෙනවා. මං හිතන්නෙ දේශපාලන බලපෑම්, දේශපාලන වාසි, දේශපාලන ඕනෑ එපාකම් නිසා මේ යුක්තිය ඉෂ්ඨ වෙන්නෙ නෑ. මේක නිකම් අර මම ඉස්සර ඉඳලාම කිව්වා වගේ කාපට් එක යටට දාන තත්වයට පත්වෙලා තියෙන්නෙ.
සුළු සුළු ලාභ ප්රයෝජනවලට තමන්ගෙ ආත්මය පාවා දීලා තියෙනවා. එහෙම බෑ. අපි ඉන්න ඕනෙ කතෝලික සභාව වශයෙන් ජනතාවගෙ පැත්තෙ. පාලකයින්ගෙ පැත්තෙ නෙමෙයි. බලවතුන්ගෙ පැත්තෙ නෙවෙයි, ධනවතුන්ගෙ පැත්තෙ නෙවෙයි, රදගුරු නිලයක් ලැබුණායි කියලා තමන්ට බෑ එහෙම කරන්න. තමන්ට වාසියක් ප්‍රයෝජනයක්, වාහන පර්මිට් එකක්, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදාගන්න කරන උදව්වක්, ඉඩම් කෑල්ලක්, ඒවගේ දේවල් වලට ආත්මය පාවාදෙන්න බෑ අපට.
යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා, සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා”
කාදිනල් හිමියන් මේ බව පැවසුවේ බොරැල්ල කතෝලික මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.