27 C
Colombo
19/01/2025

සුදු ළූණු වංචා චෝදනා ගැන කලකිරුණු ඇමති බන්දුල දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමින්?

Share with your friends :

සුදු ළූණු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පු කළහොත් ඒ සැණින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍ය ධූරයෙන් ඉවත්වන අතර සදහටම ලාංකීය දේශපාලනයට සමුදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම චෝදනාව හේතුවෙන් තමන්ගේ විෂය පථයෙන් බැහැරව ආණ්ඩුවට සම්බන්ධ වෙනත් කිසිවක් ගැන කතා කිරීමට බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”පාරිභෝගික කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තෙක් සතොස සුදු ළූණු වංචාව වංචාව සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කිරීම සහ ඒ වංචාවට මම සම්බන්ධ බවට ඉතා විශාල අභූත චෝදනාවක් එල්ල කිරීමෙන් පසු මට සිද්ධ වෙලා තියෙනවා මගේ විෂය පථයේ කරුණු හැර වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් මෙම පරීක්ෂණය අවසන් වෙන තෙක් කිසිවක් කියන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.

මට අද වෙනකල් සාධාරණයක් ඉටුවෙලා නෑ. දැනට වංචාවට සම්බන්ධ අය පෑලියගොඩ පොලීසිය මඟින් පරීක්ෂණවලට ගෙනියලා සමහරු බන්ධනාගාර ගත කරලා තිබෙනවා. සමහරුන්ට ඇප දීලා තියෙනවා. යම් කිසි ආකාරයකින් නූල් පොටකින් හරි, හොරකමකට, වංචාවකට, දුෂණයකට හෝ අක්‍රමිකතාවයකට සුදු ළූණු වංචාවට මම සම්බන්ධ යැයි ඔප්පු කළොත්.ඒ සැණින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍යධූරයෙන් ඉවත්වන අතර, සදහට ම ලාංකීය දේශපාලනයට සමුගැනීම මගේ බලාපොරොත්තුවයි.” යනුවෙනුයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානි සිදු කළේ යැයි පවසමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එමගින් සඳහන් කර ඇත්තේ සුදු ලූනු ආනයනය හා බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි ඔහු විසින් පැවසීම හේතුවෙන් තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් සිදු වී ඇති බවයි.

එම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් එය අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ සඳහන් වෙයි.

Share with your friends :