සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නරි නීතිවලට ගුරු විදුහල්පති සටන යට නොවන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
උසාවි දාහකට ඉදිරිපත් කළත් නැවතත් මේ සටන මහපාරට ගෙන එන බවයි උන්වහන්සේ පැවසුවේ.
දවසකට හෝ ආරක්ෂක සේවය තුළ වැඩකළ අයෙක් ලෙස වීරෝධාර ත්‍රිවිධ හමුදාවට නිග්‍රහ නොකර තමන් ගෙන එන මර්දනයේ වගකීමද භාරගැනීමට කොන්දක් තිබිය යුතු බවයි උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ කියාසිටියේ.
”කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළේම,තරඟ කර ජය ගත්තෙම ජාතිවාදය වපුරලා විතරයි. ආගම්වාදය වපුරලා විතරයි. තමන්ගේ ප්‍රතිපත්තියක් රටට කියන්නේ නැතුව. එහෙම ජයගත්ත මිනිස්සු තමයි අද වෙනකොට මේ රටේ නීතිය ලෝකයා හමුවේ හෑල්ලුවට ලක්කරලා අපේ රට ලෝකය හමුවේ විශාල වශයෙන් පිළිගැනීමට ලක්වෙලා තියෙන තත්ත්වය බැහැර කරන්නට උත්සහ කරන්නේ. අපි වනචාරී අශිෂ්ට සම්පන්න පිරිසක් බවට ශ්‍රී ලංකික ප්‍රජාව පත්කිරීමට තමයි මේ සරත් වීරසේකර උන්නැහේ ඔලමොට්ටල ප්‍රකාශ නිකුත් කරලා මේ කටයුතු කරමින් පවතින්නේ” යනුවෙන් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.