27 C
Colombo
19/01/2025

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් පූජිත්ට හා හේමසිරිට චෝදනා පත්‍ර භාරදෙයි

Share with your friends :

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ චෝදනා පත්‍ර භාරදී තිබේ.

එම නඩු අද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනීසිටි එම විත්තිකරුවන් වෙත නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි එක් එක් විත්තිකරුට එරෙහිව මුලින්ම චෝදනා 864 බැගින් ගොනුකර තිබූ බව සඳහන් කළේය.

එහෙත් එම චෝදනා සංශෝධනය කර වර්තමානයේ එක් එක් විත්තිකරු වෙනුවෙන් චෝදනා 855 ක් බැගින් ගොනු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැමිණිල්ලේ සාක්ෂි කරුවන් වශයෙන් පුද්ගලයින් 1,215 දෙනෙකු නම් කර තිබෙන බවත් සඳහන් කළේය.

එම සංශෝධනය පිළිබඳව නීතිපතිවරයා විසින් ලිඛිතව අගවිනිසුරුවරයා දැනුවත් කර ඇති බවත් චෝදනා පත්‍ර සංශෝධනය කර ඉදිරියට පවත්වාගෙන යාමට අගවිනිසුරුවරයා අනුමැතිය පළකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව නඩු විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

මෙහිදි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින්ට භාර දී තිබෙන චෝදනා පත්‍ර අධ්‍යයනය කර විත්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව නඩුවේ විභාගය නොවැම්බර් මස 22 වැනි දා ආරම්භ කරන බව නියෝග කළ විනිසුරු මඩුල්ල එදින සිට නොවැම්බර් මස 29 දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බව ද නියෝග කළේය.

2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු එම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 855 ක් බැගින් එල්ල කරමින් මෙම නඩු දෙක ගොනු කර තිබේ.

Share with your friends :