27 C
Colombo
08/11/2024

මහ බැංකු අධිපතිට විශ්‍රාම වැටුපක් ගෙවීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි අධිකරණයට පෙත්සමක්

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට මුදල් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, සහ නීතිපති ඇතුළු නවදෙනකු නම්කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යනු අධිකරණය මෙන් ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් බවය.

ඊට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලනඥයකුට බලයක් නොමැති බව පෙන්වාදෙන පෙත්සම්කරු එවැනි නියෝග පිළිපැදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍යානුකූලව බැඳී නොමැති බවත් සඳහන්කර තිබේ.

එමෙන්ම වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට මුදල් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරු එය මුළුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කරයි.

Share with your friends :