27 C
Colombo
15/11/2024

ලොහාන් රත්වත්තේ ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් පිරිසකයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Share with your friends :

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැඳවියකුගේ හිසට තබා තර්ජනය කිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකරමින් එම බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ව සහ නීතිපතිවරයා ව නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බවය.

ඉකුත් 12 වන දා සවස 6.05 ට පමණ සිය ආරක්ෂකයින් සමඟම බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන්ව දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බව පෙත්සම්කරුවන් පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා විසින් තමාට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කළේ යැයි පවසන පෙත්සම්කරුවන් අනතුරුව සිය පිස්තෝලය ගෙන පූපාලසිංහම් සූරියපාලන් නමැති පෙත්සම්කරුගේ හිසට එය තබා තර්ජනය කළ බව චෝදනා කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තමන් දැඩි ලෙස භීතියට පත්වූ බව ඔවුන් පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව යාපනය බන්ධනාගාරයට මාරුකරන ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙස ද ඔවුන් අධිකරණයෙන් අයැද සිටී.

එමෙන්ම තමන්ව ඇප මත මුදාහැර අවසන් වශයෙන් සියලු චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සමෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

Share with your friends :