27 C
Colombo
19/01/2025

ඉන්දියාවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කරන්න – ඉන්දීය විදේශ ඇමති ජී.එල් ට කියයි

Share with your friends :

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමුවක් පැවැති බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී එම හමුව සිදුවී ඇත.

එහිදී, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන්වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ කවුන්සිලය වැනි ස්වාධීන ආයතන බලගැන්වීම වැනි ප්‍රධාන කරුණු විසඳීම සඳහා විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සහයෝගයෙන් කටයුතු කරන බවද සඳහන් කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බවද විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එහිදී පවසා තිබේ.

අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් ක්‍රියාශීලීව ඉදිරියට ගමන් කරන විට, කිසිදු බාහිර යාන්ත්‍රණයක් භූමිය තුළ ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි බවය.

ජනවාර්ගික ගැටලුවලින් පසු ඇති වන අවශේෂ ගැටලු පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් සඳහා වූ අවශ්‍යතාවය, දෙරටේම යහපත සඳහා බව අමාත්‍ය ජයිශංකර් මහතා පවසා තිබේ.

සබඳතා වැඩිදියුණු කිරීමේ දී නවදිල්ලියට වැඩි විශ්වාසයක් ලබාදිය හැකි වන පරිදි, ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රායෝගිකව අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු තවදුරටත් අවධාරණය කර ඇත.

Share with your friends :