27 C
Colombo
20/01/2025

ලොහාන් රත්වත්තේගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි ඉල්ලීමක්

Share with your friends :

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුගේ විනය විරෝධී ක්‍රියා කලාපය නිසි සමාලෝචනයට ලක් කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කරයි.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ සිද්ධියට අදාළ පාර්ශවකරුවෙකු වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන පරීක්ෂණය කෙරෙහි මහජන විශ්වාසයක් ඇති නොවන බවය.

දේශපාලන පක්ෂ නායකයින්ගේ ඇඳහිය නොහැකි නිහඬ බව මෙවැනි අප්‍රසන්න හා අපිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණයට වීමට ප්‍රබල සාධකයක් වූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන ආකාරයේ හැසිරීමක් පළ කරන යම් පුද්ගලයෙකු වේ නම් එකී පුද්ගලයා පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍ය නායකයින්ගේ හා පක්ෂ නායකත්වයේ පරම වගකීම විය යුතු බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ පරීක්ෂණවලදී , සැබවින්ම සිදුවූ දේ වෙනුවට වෙනස් සාක්ෂි ලබාදෙන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් එල්ලවෙමින් පවතින බවට තොරතුරු ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිදුවීම වූ අවස්ථාවේ සේවයේ නිරතව සිටි නිලධාරීන් හමුවිය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරුණු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියේය.

එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් සමග පැය 04ක පමණ කාලයක් සාකච්ඡා පැවැත්වූ අතර සිදුවීම සිදුවූ අවස්ථාවේ සේවයේ නියුතු නිලධාරීන්ද හමුවී තිබේ.

Share with your friends :