මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා එළඹෙන 14 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙන බව විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කරයි.
තමන් සිය තනතුරේ සිටි සමය තුළ හෘදසාක්ෂියට විරුද්ධව තීරණ ගෙන නොමැති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
ලබන මාසයට යෙදෙන තමන්ගේ 80 වැනි උපන් දිනය දා විශ්‍රාම යාමට තීරණය කරගෙන සිටිය නමුදු පසුගිය සතියක් හෝ දින 10ක පමණ කාලයක් තුළ සිදු වූ සිත් රිදවන සිදුවීම් තමන්ගේ විශ්‍රාමය සති හයකින් පමණ ඉක්මන් කළ බව ලක්ෂ්මන් මහතා කියා සිටියි.
”මෙලෙස මා විශ්‍රාම ගන්නේ ශ්‍රී ලංකාවේ ඇති ඉතාම වැදගත් හා ගෞරවනීය තනතුරකින්. එම තනතුරෙහිලා මට පැවරී තිබුණ වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට රෑ දවල් නොබලා වෙහෙසෙමින් කටයුතු කළා. එහෙත් අපගේ පාලනයෙන් බැහැරව පවත්නා බොහෝ ස්වභාවික හා මානුෂික බලවේග හේතුකොට ගෙන අප අපේක්ෂා කළ ප්‍රතිඵල හැමවිටම ඒ ආකාරයෙන්ම ලැබුණේ නැහැ. මෙහිලා සඳහන් කළ යුතු ප්‍රධානම කරුණ ඔබ දන්නා පරිදි මා වැඩ භාරගෙන මාස තුනකින් එනම් 2020 මාර්තු මස සිට බලපවත්වෙමින් පැවති කොවිඩ් 19 වසංගතයයි. මෙහිලා බලපෑ තවත් මානුෂික හා ආයතනික කරුනුත් තිබුණා. මේ දුෂ්කරතා මැද්දේ වඩා යහපත් ප්‍රතිඵල සඳහා කළ යුතු ප්‍රතිපත්ති වෙනස්කම් ගැනත් සිතමින් මා මානසික පීඩනයෙන් පසුකල දින ගණන් බොහෝයි. ඒ නිසා ඇත්ත වශයෙන්ම මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම ගැන මා හා මගේ හිතවතුන් සිතන්නේ සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙසයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.