27 C
Colombo
27/11/2024

සාමය හා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට සහාය

Share with your friends :

සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ගන්නා සෑම ප්‍රයත්නයක් සඳහාම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේ මේ බව සදහන් කළාය.

කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාවට ඇති අභියෝග ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ඇතුළු එක්සත් ජාතීන් විසින් සිදුකරන ලද කටයුතු මෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා ලැබෙන ආධාර පිළිබදව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී අගය කළේය.

එසේම ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ තිරසාර සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමට , ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් ද විදේශ අමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියට ස්තූති කළේය.

කොවිඩ් වසංගතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ ප්‍රයත්න සහ ඒ සම්බන්ධයෙන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව ඒ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කළේය.

තවද මෙම හමුවේදී විදේශ අමාත්‍යවරයා සාමය, යුක්තිය සහ ආයතන සම්බන්ධයෙන් කටයුතු කරන තිරසාර සංවර්ධන ඉලක්ක 16 ඇතුළුව, මානව හිමිකම් පිළිබඳ දේශීය යාන්ත්‍රණයන් තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කළේය.

ඉදිරි වසර 5 සඳහා එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රමුඛතා ඇතුළත් තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව 2023-2027 යටතේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සූදානම් වීමේ ක්‍රියාවලිය පිළිබඳව නේවාසික සම්බන්ධීකාරකවරිය ඇමැතිවරයා දැනුවත් කළාය.

Share with your friends :