එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ පැවැත්විය.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (16) පස්වරුවේ පැවැති දුරකථන සංවාදයකින් අනතුරුව මෙම හමුව සිදුව තිබේ.
මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් කොවිඩ් මර්දනයට අදාළව පක්ෂය සැකසූ යෝජනාවලියක් ජනාධිපතිවරයාට භාරදී ඇත.
මෙහිදී වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පවතින තත්ත්වය සාකච්ඡා කර ඊට අවශ්‍ය විසඳුම් යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසය.
ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගි කළ යුතු බව වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා තිබේ.
එම පක්ෂ නායක හමුවේදී පවතින තත්ත්වයන්ට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් දියත් කිරීම කෙරෙහි වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවූ බව වාර්තාවේ.
එමෙන්ම, රෝහල්වල ධාරිතාව, ඖෂධ සහ එන්නත්කරණය පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කාරණා සඳහා ජනාධිපතිවරයාගේ සාධනීය ප්‍රතිචාර හිමිව ඇති බව වාර්තා වේ.