තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි.
ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය.
තලේබාන්වරුන් ද පවසා ඇත්තේ කාබුල් අගනුවර බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමන්ට හැකියාව ඇතත් තමන් එසේ නොකරන බවය. මේ අතර නිල නොවන වාර්තාවලට අනුව, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී කාබුල් අගනුවර අත්හැර ටජිකිස්තානය වෙත ගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ආරක්ෂක හේතු මත ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයාගේ ගමන් බිමන් හෝ ඔහු සිටින්නේ කොහේදැයි කිව නොහැකි බව ඇෆ්ගනිස්තාන ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය.
තලේබාන් සටන්කාමීන් කාබුල් නුවර වටකරමින් කඩා වැදුණු අවස්ථාවේදී ඝානී සිටින්නේ කොහේදැයි නගරය පීරමින් සොයන්නවූ බව ද වාර්තා වේ.
ඇෆ්ගන් ජනාධිපතිවරයා ටජිකිස්තානයට පලා යෑම සම්බන්ධයෙන් ඇෆ්ගන් වැසියෝ අප්‍රසාදය පළ කරති. තමන් අමාරුවේ දමා ජනාධිපතිවරයා රටින් පලා ගියේ යැයි ඔවුහු චෝදනා නගති.
මේ අතර, නගරයේ කඩසාප්පු සහ නිවාස හෝ රාජ්‍ය ගොඩනැගිලි සහ තානාපති කාර්යාල හෝ කොල්ලකෑමෙන් වළකින්නැයි තලේබාන් නායකයන් තම සටන්කාමීන්ට දැනුම් දී තිබේ.
තලේබාන් සංවිධානය ද දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙස කොටස් දෙකකි. තලේබාන් සංවිධානයේ ප්‍රධාන නායකයා (අමීර් අල් මු’මිනින්) වන්නේ මවුලවී හිබතුල්ලා අකුන්ද්සාදා ය. මොහු තලේබාන් හිටපු නීතිපතිවරයාය. 2016 සිට තලේබාන් සංවිධානයට නායකත්වය දෙයි. දේශපාලනික, ආගමික සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ මොහු සතුවය.
තලේබාන් දේශපාලනික අංශ නායකයා වන්නේ මුල්ලා අබ්දුල් ඝානී බරඩාර් ය. තලේබාන් සංවිධානය පිහිටුවීමේ දෙවැනියා ලෙස මොහු සැලකෙයි. දෝහා කටාර් හි තලේබාන් දේශපාලනික කාර්යාලයේ ප්‍රධානියා ද මොහුය. නියෝජ්‍ය නායකමුල්ලා මොහොමද් යාකූබ් තලේබාන් සංවිධානය පිහිටවූ මුල්ලා ඕමාර්ගේ පුත්‍රයාය. තලේබාන් හමුදා අණදෙන නිලධාරියා වන්නේ මොහුය. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සටන් මෙහෙයවීම සිදු කරන්නේ මොහුය.
තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයකු ලෙස සැලකෙන්නේ සිරජුදීන් හක්කානීය. හක්කානී නමැති ඉස්ලාමීය ත්‍රස්ත ජාලයේ ප්‍රධානියා මොහුය. හක්කානී යනු තලේබාන් සහාය ඇතිව ස්ථාපිත කළ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි කීපයකින් සැදුම්ලත් ජාලයකි. තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ලෙස කටයුතු කරන්නේ මුල්ලා අබ්දුල් හකීම්ය.
තලේබාන් සංවිධානයේ අධිකරණ කටයුතු සියල්ල මොහු යටතේ සිදුවෙයි. දෝහා කටාර් හි සාකච්ඡා සඳහා පවත්වන නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. ඊට අමතරව, තලේබාන් සංවිධානයට නායකත්ව මණ්ඩලයක් (රහ්බාරි ෂූරා කවුන්සිලය) ඇත. තලේබාන් සංවිධානයේ තීන්දු තීරණ ගන්නේ සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත මෙම මණ්ඩලයයි.