පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තමා ඉකුත් ජූලි 13 වැනිදා යොමුකළ ලිපියට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවත් දින 24 කට ලැබුණේ ජනාධිපතිවරයා හෝ එතුමාගේ ලේකම්වරයාවත් අත්සන් නොකළ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීතිඥවරයකුගේ අත්සනින් නිකුත් කළ ඉතාම ලාමක පිළිතුරක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
එම පිළිතුර හා රජයේ වැඩපිළිවෙලට විරෝධය පා පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකකුත් මාස 4 ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.
මෙම ප්‍රහාරය පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති කරුණු හා ඉන් පරිබාහිර අංශ වෙතින් ලද දත්ත ඔස්සේ තමා නැගූ බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් හෝ රජය ගන්නට යන ක්‍රියාමාර්ගය ගැන එම ලිපියේ සඳහන්ව නැතැයි ද කාදිනල්තුමෝ කීහ. එම ලිපියේ ඇත්තේ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව එකිනෙකා අතට හුවමාරු වූ ආකාරය පිළිබඳ විස්තරයක් පමණක් බවද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පසුගිය 05 වැනි දින කාදිනල් හිමියන් වෙත ජනාධිපති නීති අධ්යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා විසින් යොමුකර තිබුණු ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා කාදිනල් හිමියන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
එම ලිපියේ දක්වා ඇති අන්දමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශ ගැන ක්‍රියාත්මක කිරීම ගැන තීරණ ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම ප්‍රශ්නසහගත දෙයක් බවයි උන්වහන්සේ පැවසුහ.
නීතිය පිළිබඳ දැනුමක් ඇති අය විසින් ලබාදුන් නිර්දේශ ගැන තීරණ ගැනීමට නීතිය පිළිබඳ දැනුමක් නැති එමෙන්ම හුදෙක් එක් දේශපාලන පක්ෂයක නියෝජිතයින් පත්කිරීම ගැන පිළිනොගන්නා බව කාදිනල් හිමියෝ අවධාරණය කළහ.
ඒ අනුව අවසානයේ ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශ වන හෙයින් කිසිලෙසකින්වත් එය පිළිනොගන්නා බවයි උන්වහන්සේ කියාසිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන ද අසම්පූර්ණ බව උන්වහන්සේ සඳහන් කළහ.
”ඒ සියල්ලම පිටිපසේ තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි ජනාධිපතිතුමාට නිශේධ බලයක් තියෙනවා 20 වෙනි සංශෝධනය සමඟ තමන්ට රිසි දේ කරන්නට මේ රට තුළ. නීතිය ගැන වුණත් එතුමාට තීරණය කරන්න පුළුවන් තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. යම් යම් නිලධාරීන්ට බලපෑම් කිරීමට එතුමාට බලය තිබෙනවා. විනිශ්චයකරවරු පත්කිරීමේ බලය තියෙන්නෙත් එතුමාටයි. එම නිසා සැබවින්ම නීතිය ස්වාධීනයි කියා අපිට කියන්න බැහැ. බලය සම්පූර්ණයෙන් ජනධිපතිතුමා අතේ තියන නිසා එතුමාට ඕනෑ ආකාරයට මෙය තෝරා බේරා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ රටේ ආණ්ඩුව තුළින් හා මේ සිදුවේගෙන යන ක්‍රියාදාමය තුළින් සාධාරණය ඉටුවෙයි කියල අපිට කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.”
නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන කමිටුවක් පත්කිරීමට අවශ්‍ය නම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන කමිටුවක් පත්කරන ලෙස කාදිනල් හිමියන් ප්‍රකාශ කළහ.