27 C
Colombo
27/11/2024

කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්වල ම තබා ප්‍රතිකාර කිරීම ඇරඹේ

Share with your friends :

වයස අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හා මද රෝග ලක්ෂණ ඇති දරුවන් ද වෛද්‍ය නිරීක්ෂණය සඳහා යොමුකළ හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එම ප්‍රතිකාර ක්‍රමවේදයට යටත්වන දරුවන්ට නිධන්ගත රෝග හෝ දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබාගන්නා රෝගයන් නොතිබිය යුතු බව ද වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත දරුවන් සීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙලෙස නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ ව්‍යාප්තියක් ආරම්භ කළ බවත් එය රට පුරා ක්‍රියාත්මක බවත් වෛද්‍යවරයා පැවසීය.

නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ දී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙක් නිරන්තරයෙන් ළඟ සිටිය යුතු බවත්, දුරකථන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන බැවින් එයට අදාළ පහසුකම් ද සැපයිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

එවැනි කාරණා සම්පූර්ණ කර ඇති කොවිඩ් ආසාදිත දරුවන් ට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයා සම්බන්ධ කර ගනිමින් එම පහසුකම ලබාගත හැකි වේ.

කොවිඩ් ආසාදිත වු දරුවන් ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම් සඳහා 1390 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එයින් අදාළ උපදෙස් ලබාගත හැකිය.

කොවිඩ් -19 රෝගී තත්ත්වය බොහෝ දරුවන්ට සාමාන්‍ය වෛරස් තත්ත්වයක් බවත්, එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය තුළින් ඉබේම සුව වන බවත් පැවසු වෛද්‍ය චන්න ද සිල්වා මහතා, 1%කට වඩා අඩු ප්‍රමාණයකට විශේෂ සංකූලතා ඇතිවන බවත් පැවසීය.

නිවසේ සිටින කොවිඩ් ආසාදිත දරුවන් රැකබලා ගැනීමේ දී ඖෂධවලට වඩා ඔවුන් කෙරෙහි අවධානයෙන් පසුවීම වැදගත් බව ද වෛද්‍යවරයා කියාසිටියේය.

එසේ වුවත් යම් දරුවෙකු ට කොවිඩ් ආශ්‍රිතව සංකූලතාවයක් ඇති වන්නේ නම් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොරව දරුවන්ට ඖෂධ ලබාදීමට කටයුතු කිරීම හානිදායක විය හැකි බව ද වෛද්‍යවරයා පවසයි.

Share with your friends :